Monday, April 29, 2024

කෝටි 3800ක කොන්ත්‍රාත් ත්‍රිපුද්ගල කමිටු විමර්ශනයට

ටෙන්ඩර් පටිපාටිවලට හා වෙනත් නිත්‍යානුකූල අනුමැතීන්ට යටත්ව පසුගිය ආණ්ඩු සමයේ කොන්ත්‍රාත් සිදු කළේද? නැද්ද? සොයා බැලීමට පත්කළ මහා භාණ්ඩාගාර ත්‍රිපුද්ගල කමිටුව මේ වන විට රුපියල් කෝටි 3800 ක් වටිනා කොන්ත්‍රාත් ගැන තොරතුරු විමර්ශනය කරමින් සිටින බව වාර්තා වෙයි.

වසර 2005 – 2014 කාලයේ රටපුරා සිදුකළ සංවර්ධන වැඩසටහන්වලට අදාළ කොන්ත්‍රාත් මුදල් ගෙවීමේදී පැන නැඟි ප්‍රශ්න නිරාකරණය කිරීමට මේ මහා භාණ්ඩාගාර ත්‍රිපුද්ගල කමිටුව පත්කරන ලදී.

ජනපති, අගමැති නියමයෙන් මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇමැති මණ්ඩලයෙන් කළ ඉල්ලීමකට අනුව මේ ත්‍රිපුද්ගල කමිටුව පත්කරන ලදී. මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ලලිත් ආර්. ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කැර ඇත.

ඒ අනුව මහා භාණ්ඩාගාරයේ ස්ථාපිත කළ හිඟ කොන්ත්‍රාත් බැඳීම් නිරවුල් කිරීමේ කමිටුවේ නිර්දේශය සහිතව රුපියල් කෝටි 350 ක කොන්ත්‍රාත් මුදල් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට පියවර ගෙන ඇතැයි ද මුදල් ඇමැති ‍රවී කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය.

මහා භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම් පුෂ්පා වෙල්ලප්පිලි, එස්. පද්මනාදන් යන මහත්ම මහත්මීහු මේ කමිටුවේ සෙසු සාමාජිකයින් වේ. පසුගිය ආණ්ඩු සමයේ රටපුරා සිදුකළ විවිධ කොන්ත්‍රාත් ටෙන්ඩර් පරිපාටීන්ට සහ වෙනත් නිත්‍යානුකූල අනුමැතීන්ට යටත්ව සිදු කළේද? නැතිද? යන්න විමර්ශනය කිරීමට පත්කළ මහා භාණ්ඩාගාර නිලධාරි කමිටුවේ කාලය මාස ‍තුනකින් දීර්ඝ කොට තිබේ. මේ වසරේ පෙබරවාරි අගදී පත්කැරුණු මේ මහා භාණ්ඩාගාර විමර්ශන කමිටුවේ සය මසක කාලසීමාව නිමාවීමත් සමග මෙලෙස තවත් මාස තුනක කාලයක් දිගු කළ බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles