Friday, May 3, 2024

කෝප් කමිටු විගණකාධිපති වාර්තා නීතිපතිට

මහ බැංකු බැඳුම්කර පිළිබඳ කෝප් කමිටු වාර්තාව සහ විගණකාධිපති වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.

මේ වාර්තාවන් ඉදිරි කටයුතු සඳහා නීතිපති වෙත යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර, ඒ පිළිබඳ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතින් විමසූ අවස්ථාවේ, එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූයේ ඒ වාර්තා ඊයේ (31 වැනිදා) නීතිපති දෙපාර්තමේන්තුව වෙත ‍ කළ බවය.

පසුගිය වසර දහයක පමණ කාලයක් තිස්සේ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත් සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ ද ඉන් පිටතද විවිධ චෝදනා එල්ල වූ නමුත්, ඒ සම්බන්ධව විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනුණු මුල්ම වතාව මෙයය.

ග්‍රීක් බැඳුම්කර මිලදී ගැනීම, සේවක අර්ථ සාධක අරමුදල් අවභාවිතය, දේශීය බැඳුම්කර පුද්ගලික මට්ටමින් ලබාදීම ඇතුළු මේ කිසිදු චෝදනාවක් පිළිබඳ විධිමත් පරීක්ෂණ නොපැවැත්වුණු අතර ඒ පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ කිරීම අවුරමින් ජනමාධ්‍ය වෙත තහංචි ද පනවා තිබිණි.

එවක තිබුණු කෝප් කමිටු මගින් ඉදිරිපත් කෙරුණු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරුණු අතර සමහර අවස්ථාවල චුදිතයන් ආරක්ෂා කරලීම සඳහා කමිටුව ක්‍රියා කළ බවට ද පාර්ලිමේන්තුව තුළ චෝදනා නැගිණි. එසේම දූෂණ චෝදනා නිසියාකාරව සොයා බලන්නට ඉදිරිපත් වූ විජේදාස රාජපක්ෂ වැනි මන්ත්‍රීවරුන්ට කෝප් කමිටු සභාපතිත්වය පමණක් නොව, පක්ෂ සාමාජිකත්වයද අහිමි කරන තැනට වැඩ සැලැස්විණි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දැරූ මතය වූයේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල ශක්තිමත් කළ යුතු බව ඊට අදාළ කමිටු සභාපතිත්වයන් විපක්ෂ මන්ත්‍රීවරුන් වෙත ලබාදිය යුතු බවය. බැඳුම්කර පිළිබඳ චෝදනා එල්ල වූ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මූලික පරීක්ෂණ කමිටුවක් පත් කළ අතර එහි වාර්තාව ලැබීමෙන් පසු, මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන් පාර්ලිමේන්තු කෝප් කමිටුවෙන් ඉල්ලා සිටියේය.

පසුගිය ආණ්ඩු ස‍මයේ පාර්ලිමේන්තු කමිටු තම දේශපාලන අභිමථාර්ථයන් මුදුන්පත් කරගැනීම සඳහා භාවිත කළ ආකාරය හා සසඳද්දී වත්මන් කෝප් කමිටුව රිසිසේ බාධාවකින් තොරව කටයුතු කරලීමටත් එහි වාර්තාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එතැනින් නොනැවතී, ඒ වාර්තා නීතිපති වෙත යොමු කිරීමටත් ක්‍රියා කරමින් යහපාලන රජය සිදුකර ඇත්තේ ආදර්ශවත් ක්‍රියාපිළිවෙතක් බව මැදහත් දේශපාලන විචාරකයෝ පවසති.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles