Thursday, May 2, 2024

කෝප් සභාපති වාර්තාවට වඩා ශක්තිමත් වාර්තාවක්

සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් සකස් කර ඇති කෝප් කමිටු වාර්තාවට වඩා ශක්තිමත් වාර්තාවක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.පෙරේදා (24දා) කෝප් කමිටු රැස්වීමේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සමග ඊයේ දිනයේදී විනාඩි 45ක් සාකච්ඡා කළ බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

ඕනෑම කරුණක් සම්බන්ධව කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට අවස්ථාව තිබෙන බවත්, සුනිල් හඳුන්නෙත්ති මහතා පිළිබඳව ඇති ගෞරවය අඩුවී නැති බවත් හෙතෙම  මෙහිදී පවසා සිටියේය.හඳුන්නෙත්ති මහතාට තර්ජනය කළ බවට පැවසෙන ප්‍රකාශයක් අසත්‍යයක් බවත්, එක්සත් ජාතික පක්ෂයට අනවශ්‍ය චෝදනා එල්ල නොකරන්නැයි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා මෙහිදී සඳහන් කළේ හිටපු මහ බැංකු අධිපති  අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු බවට මෙම වාර්තාවේ කිසිවක් සඳහන් නොවන බවයි.සැකසංකා මත වාර්තාව සකස් කර තිබෙන බවත්, අර්ජුන් මහේන්ද්‍රන් මහතා වගකිවයුතු නම් කෙලින්ම සටහන් කළයුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

අර්ජුන් ඇලෝසියස් මහතාගේ සමාගම විසින් අධික ලාභ ලබා තිබීම ද හඳුන්නෙත්ති වාර්තාවේ සඳහන්ව නැතැයි අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.
පෙරේදා පැවැති කෝප් කමිටු රැස්වීමේදී බලපෑමක් එල්ලවූයේදැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් මෙහිදී විමසා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී සියලු කරුණු හෙළිකරණ බවයි.
පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේම්ජයන්ත් යන ඇමතිවරුන් මෙහිදී සඳහන් කළේ, සුනිල් හඳුන්නෙත්ති මහතාගේ  සහභාගීත්වයෙන් යුතුව සකස් කර ඇති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles