Thursday, May 2, 2024

ගෑස් අර්බුදයට වගකිවයුත්තන් එල්ලිය යුතුයි – දයාසිරි

ගෑස් අර්බුදයට වගකිවයුත්තන් එල්ලිය යුතුයි. එසේ නොකිරීමේ ප්‍රතිපල ජනතාවට විදීමට සිදුවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු ලෙඩවන බව කී වෛද්‍යවරුන්, ඉන්දියාවෙන් දැන් ගෙන්වන අධි රසායනික සහිත පොන්නි සම්බා ආහාරයට ගැනීමෙන් මෙරට ජනතාවගේ වකුගඩුවලට සිදුවන බලපෑම ගැන කල්පනා කළ යුතු බව ද ඇමැතිවරයා කියයි.

“මට නම් තාම කොහෙන්වත් හූ කිව්වේ නෑ. මම හූ කියන තත්ත්වයට පත්වෙලත් නෑ. මොකද මම මිනිස්සුත් එක්ක ඉන්න නිසා. මිනිස්සුන්ට ආදරේ කරනවා නම් සහ නිහතමානි වෙනවා නම් මම හිතන්නේ නෑ කාටවත් හූ කියයි කියලා. නිහතමානි වෙන්නේ නැතුව උද්දච්චකමින්, මහන්තත්තකමින් ඉන්න ගියොත් වැඩිකල් යන්නේ නැතුව හූවක් තමයි අපිට කන්න වෙන්නේ.”

“ආණ්ඩුව විසින් කරපු වැරදි කිහිපයකුත් තියෙනවා. එකක් තමයි මේ පොහොර ගැටළුව. හොඳ දෙයක් කරන්න ගිහිල්ලා දැන් ඒක අනිත් පැත්තට කැරකිලා තියෙන්නේ. ලබන අවුරුද්දේ ඉඳලා අපිට කන්න වෙන්නේ ඉන්දියාවෙන් ගෙන්වන පොන්නි සම්බා තමයි. පොන්නි සම්බා ටිකක් එක්ක අපේ හාල් ටිකක් තියලා බැලුවොත් පොන්නි සම්බා එකේ මැස්සෙක්වත් වහන්නේ නෑ. හැබැයි අපේ හාල්වල මැස්සෝ වහනවා. ඒ කියන්නේ පොන්නි සම්බාවල රසායනික අන්තිම කෙළවරේ තියෙන්නෙ. රසායනික කාපුවාම වකුගඩු ලෙඩ වෙනවා කියපු දොස්තරලා, ඉන්දියාවේ පොන්නි සම්බා කනකොට වකුගඩුවලට කොයිතරම් බලපානවද කියල දැන් කල්පනා කරන්න ඕනෑ.”

“ඒ නිසා රසායනික පොහොර වකුගඩුවලට බලපානවා කියන්නේ අමූලික බොරුවක්. මම ඒක බොහොම අවංකවම කියන්නේ. එහෙම එකක් නෑ. අපිට තියෙන්නෙ වතුර ප්‍රශ්නයක්. උදේ කුඹුරට ගියාම හවස් වෙනකන්ම වතුර බොන්නෙ නැතුව අපේ ගොවියෝ විජලනය වෙනවා. ඒක වකුගඩුවලට බලපානවා. අනිත් එක අපි භාවිතා කරන භූගත ජලයේ තමයි කැඩ්මියම් ලෝහය වැඩිපුරම තියෙන්නෙ. ඒකත් වකුගඩුවලට බලපානවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles