Thursday, May 16, 2024

චෝදනා ඔප්පු වුණොත් කැරොලයින් වසර 20ක් හිරේ

ශ්‍රී ලංකා විවාහක රූ රැජන 2020 කිරුළ හිමි පුෂ්පිකාද සිල්වා විසින් ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට එල්ල කර ඇති චෝදනා ඔප්පු වුවහොත් වසර 15ත් 20ත් අතර සිරදඬුවමක් පැනවිය හැකි බව නීතිවේදීහු පෙන්වා දෙති.

කැරොලයින්ට අමතරව චූලා පද්මේන්ද්‍රන් යන කාන්තාවටද පුෂ්පිකා විසින් චෝදනා එල්ල කර තිබේ. සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බිය ගැන්වීම හා සුළු තුවාල කිරීම යන චෝදනා දැනට මේ කාන්තාවන් දෙදෙනාට එල්ල කර ඇති චෝදනා වන අතර, මේ සම්බන්ධව කුරුඳුවත්ත පොලිසිය විසින් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.

මේ සිද්ධිය ප්‍රථමයෙන් පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් මේ වන විට පවතිනවා. සිද්ධිය මුලදී කියවුණු ආකාරයෙන් නම් අවුරුදු 15-20 අතර කාලයක් සිරදඬුවම් දිය හැකි වුවත් මේ වන විට දෙපාර්ශ්වය යම් යම් කාරණා සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණීමේ හැකියාවක් තිබෙනවා යැයි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා දිනමිණට ඊයේ (9) පැවසීය.

මෙහිදී පෙනී යන්නේ බලහත්කාරකම, මංකොල්ලකෑම දක්වා යන සිද්ධියක් සිදුව තිබෙන බවයි. යම් කිසි අයෙක් බලහත්කාරකමක් කරන්නේ නම් එහිදී ඇයට තුවාලයක් කරන තත්ත්වයක් ඇති වුවහොත් සුළු තුවාල වීමක් වුවත් එය නීතියට අනුව මංකොල්ලකෑමක් දක්වා යනවා.

නමුත් පොලිසියේ තොරතුරු අනුව මේ චෝදනා සමතයකට පත් කළ හැකි තත්ත්වයක් දැන් තිබෙනවා. මෙවැනි තත්ත්වයකදී දඬුවම් කාලය අවුරුදු 3-5 ත් අතර දක්වා දිය හැකියි. යැයි ද කීවේය.

සමථ මණ්ඩලයට යෑමෙන් තමයි එය තීරණය කළ හැකි වන්නේ. පොලිස් ඇප දී ඇතත් මහජන කැළඹීම යටතේ මේ කාන්තාවන් දෙදෙනාට ඇප නොදී සිටිය හැකි තත්ත්වයක්ද මෙහිදී තිබුණා යැයිද හෙතෙම කීවේය. ලෝක විවාහක රූ රජනගේ මේ ක්‍රියා කලාපය නිසා ඇයගේ අන්තර්ජාතික කිරුළ අහිමි වීමේ අවධානමක් පවතින බවද නීති විශාරදයෝ පවසති. මේ අතර කැරොලයින් ජූරි සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකර ඇත. 2020දී තමා දිනාගත් අන්තර්ජාතික කිරුළ නැවත ලබා දීමට තමා සූදානම් බවට ප්‍රකාශ කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles