Thursday, May 2, 2024

ජනපතිත් මමත් රට නංවනවා-අගමැති කියයි

ශ්‍රී ලංකාව සෞභාග්‍ය කරා ගෙන යෑමට හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා තැබූ පියවර අභිබවමින් යෝධ පියවර රැසක් යහපාලන ආණ්ඩුව තබා ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ඉදිරි පස් වසර තුළ ශ්‍රී ලංකාව සංවර්ධනයේ මුදුන් තලයට ගෙන එන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජේ. ආර්. ජයවර්ධන මහතා තැබූ වාර්තාවන් තම ජීවිත කාලය තුළ බිඳ දැමීමට හැකිවෙතැයි තමා විශ්වාස නොකළ බව ද එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී එම ඉලක්කය සපුරාලීමට හැකිවන බව තමාට විශ්වාස යැයිද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා එසේ සඳහන් කළේ කොත්මලේ මහවැලි මහ සෑය ශ්‍රී සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ ඓතිහාසික අවස්ථාවට ඊයේ(20)එක් වෙමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැතුණි.

රුපියල් බිලියන හතරක වියදමින් ඉදි කළ දැවැන්ත චෛත්‍යයේ ඉදිකිරීම් නිමා කිරීමට තිස් තුන්වසරක් ගත වී තිබුණි.

උතුම් ශාසනික මෙහෙවර අගයමින් ස්වභාව දහම ද ආශිර්වාද කරමින් වර්ෂාව ඇද වැටී පරිසරය සිසිල් කළේය.රුවන් වැලි මහා සෑයට පමණක් දෙවැනි නව සෑය දුටු ගැමුණු රජතුමා හැදිවැඩිව කොත්මලේ ප්‍රදේශයෙන් ඉදිවීමෙන් එතුමාගේ ආශිර්වාදය ඊට එක්වී තිබුණි.

දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට සංවර්ධන කලාප, බස්නාහිර පළාත් නව නගර, මහනුවර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය නව ව්‍යාපෘති, යාපනයේ නිවාස ආදී ස්ථාපිත කරන බවත් ඒ යටතේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා දසලක්ෂයක් අලුතින් බිහි කරන බවත් අගමැතිවරයා අනාවරණය කළේය.

‘ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ යුද්ධය ඇති වූණා. යුද්ධය නිමා වුවද සාමය ඇති වුණේ නැහැ. එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සාමය කරා රට ගෙන යෑමට හැකිවූණා’ යැයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මහවැලි කඩිනම් ව්‍යාපෘතිය ගෙන යෑමට ගාමිණි දිසානායක ඇමැතිවරයාට භාර දූන් නිසා එම කටයුතු සිදු කළ හැකිවූ බවත් අග්‍රාමාත්‍යවරයා කීවේය.

ධාතුසේන, මහසෙන් සහ පරාක්‍රමබාහු රජ දවසටත් වඩා වැව් ඉදි කර ඉඩම් වී ගොවි තැනට කඩිනම් මහවැලිය යටතේ ආරම්භ කළ බව ද සඳහන් කළ අගමැතිවරයා සෑම ඇමැතිවරයකුට එසේ කටයුතු කිරීමේ හැකියාව නැතැයිද පැවැසීය.

“හැත්තෑහතේ බලයට පැමිණි ජේ. ආර් ජයවර්ධන මහතාට ගාමිණි දිසානායක මහතා වැනි වැඩ කරන්න දක්ෂ කිහිප දෙනකු සිටියා. උපාලි විජේවර්ධන මහපොළ වෙළඳ කලාප ඇති කළා. ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රේමදාස අගමැතිවරයා සමඟ එක්ව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව අගනගරයක් ඇති කර පාර්ලිමේන්තු සංකීර්ණය නිවාස දස ලක්ෂයේ වැඩසටහන ආරම්භ කළා. රොනී ද මැල් මුදල් ඇමැතිවරයා යටතේ ආර්ථිකය සම්පූර්ණ නිදහස් කර විවෘත ආර්ථිකය ඇති කළා. ලලිත් ඇතුළත්මුදලි ඇමැතිවරයා යටතේ මහපොළ ආදී දැවැන්ත සංවර්ධනයන් කිරීමට දක්ෂයන් සිටියා’ යැයි ද අනාවරණය කළේය.

මහා සංඝරත්නය, වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක, ශ්‍රීමා දිසානායක යන මහමත්ම මහත්මීන් මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles