Saturday, April 27, 2024

ජනරජ පෙරහර සාර්ථකව නිමවෙයි.

රී ලංකා නිදහස ලබා වසර 75 පිරිම නිමිත්තෙන් ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මගින් සංවිධානය කළ ජනරජ පෙරහෙර් ජනරජ ලාංඡනය කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල හස්තියා වැඩම කළහ.

දෑල හස්තීන් වශයෙන් දළදා කණ්ඩුල සහ අත්තනගල්ලේ රජමහා විහාරයේ ගැමුණු හස්තියා ගමන් කළේය.

මෙම ජනරජ පෙරහර පැවැත්වෙන්නේ වසර තිස් හතරකට පසුවයි.

75 වන නිදහස් දින සැමරුමට සමගාමීව සංවිධානය කෙරුණු පෙරහරේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරු සහභාගි වූහ .

අද පස්වරු 6.45ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වූ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් විය.

අලි ඇතුන් සහ දළදා මාළිගාවේ මෙන්ම සතර මහ දේවාලවල නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් විය.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ද අරමුණු කර ගනිමින් පෙරහර සංවිධානය කෙරුණු අතර එය නැරඹීම සඳහා අති විශාල ජනකායක් වීථි දෙපස රැස්ව සිටියහ .

රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කරයි.

කන්ද උඩරට රජකම් කළ පුරාණ රජවරුන් විශේෂ ආගමික අවස්ථාවන් මුල් කරගනිමින් මෙවැනි පෙරහරවල් පවත්වා ඇති අතර අපගේ රජවරුන්ගේ පාලනය ගිලිහී ගොස් 1815 දී බ්‍රිතාන්‍ය කිරීටයට මෙරට යටත් වීමෙන් පසු පළමු වරට රජ පෙරහැර පෙරහැරක් පැවැත්වූවා යැයි වාර්තා වන්නේ වේල්සයේ කුමරු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ වික්ටෝරියා රැජනගේ පුත් වේල්සයේ ආදිපාද වරයා කන්ද උඩරට සංචාරයක යෙදුණු 1875 වසරේදීය . එම ආදිපාදවරයා ඓතිහාසික පත්තිරිප්පුවේ සිට එම පෙරහැර නැරඹුවා යැයි සඳහන්ය .

ඉන් අනතුරුව රජ පෙරහැරක් පවත්වා ඇත්තේ 1854 වසරේ අප්‍රේල් මාසයේ මෙරට සංචාරයක නිරත වූ දෙවැනි එළිසබත් මහ රැජින වෙනුවෙනි . ඇය වත්මන් මැද්දුම බණ්ඩාර උයනේ ඩී එස් සේනානායක පිළිරුව පිහිටුවා ඇති ස්ථානයේ පත්තිරිප්පුව හැඩයට සකස් කරන ලද විශේෂ පීඨිකාවක සිට එම පෙරහර නැරඹුවා යැයි සඳහන්ය .

ඉන් අනතුරුව 1978 වසරේදී ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා වෙනුවෙන් විශේෂ පෙරහැරක් සංවිධානය කොට ඇති අතර එයද ජේ ආර් ජයවර්ධන මහතා විසින් ඩී එස් සේනානායක පිළිරුව අසල ඉදිකරන ලද විශේෂ පීඨිකාවක සිට නරඹා තිබේ .

ඉන් අනතුරුව 1981 වසරේ දී වික්ටෝරියා වේල්ල විවෘත කිරීමට පැමිණි දෙවැනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් විශේෂ පෙරහැරක් පවත්වා ඇති අතර එයද ඇය නරඹා ඇත්තේ ඩී එස් සේනානායක පිළිරුව අසල පත්තිරිප්පුව හැඩයට සකස් කරන ලද විශේෂ පීඨිකාවක සිටය .

1987 වසරේදී දළදා සමිඳුන් වෙනුවෙන් ඉදි කොට පූජා කරන ලද රන් වියන විවෘත කිරීමේ උත්සවය සිහිකරනුවස් විශේෂ පෙරහැරක් පවත්වා ඇති අතර එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා එම පෙරහැර රැජිණ හෝටලයේ පළමු මහලේ ඉදිරිපස ඇති පීඨිකාවේසිට නරඹා තිබේ .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles