Wednesday, May 15, 2024

ජනාධිපතිවරයාගෙන් ජාත්‍යන්තරය හමුවේ ‘පොර ටෝක්’ රැසක්…

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර පෙරේදා පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට එක්වෙමින් එහි ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලැබුවා.

එහිදී ඉන්දු – පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූවද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඒවායේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අනන්‍ය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දූපත් රාජ්‍යයන් ඉන්දු පැසිෆික් කලාපය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවල නිරත වී නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා එක්සත් ජනපදය මාලදිවයිනේ තානාපති කාර්යාලයක් විවෘත කිරීම වැනි මෑතකාලීන වර්ධනයන් පවතින බව ද සඳහන් කළේය.

ආසියාන් සංවිධානයේ බලපෑම, රුසියානු-යුක්‍රේන යුද්ධය සහ BRICS+ බිහිවීම වැනි බලපෑම් මත ඉන්දියන් සාගරයේ බල තුලනයක් ඇති වෙමින් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම වෙනස් වන භූ දර්ශනය දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය පවත්වාගැනීමට සහය වන අතර ඉන්දියානු සාගර රිම් සංගමය (IORA), ආසියාන් (ASEAN) සහ BRICS+ යන සංවිධාන අතර ශක්තිමත් සහයෝගීතාවක් පවත්වාගත යුතු බව ද අවධාරණය කළේය.

මෙහිදී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ හම්බන්තොට වාණිජ වරාය, චීන හමුදා කඳවුරක් ලෙස හංවඩු ගැසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරන බවයි. ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කරමින් සිටින අතර ජාත්‍යන්තර සංසදවලදී මෙම කාරණය මතු කිරීමට අදහස් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඉන්දියානු සහ පැසිෆික් සාගරවල අන්තර් සම්බන්ධතාව හඳුනා ගනිමින් කලාප දෙකෙහිම කුඩා දූපත් රාජ්‍යයන් අතර සක්‍රීය සහයෝගීතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ‘ඉන්දු-පැසිෆික්‘ සංකල්පයට ඉන්දියානු සාගර රිම් සංගමය (IORA) හි අවශ්‍යතාවය දැඩිව පවතින බව ද පෙන්වා දුන්නේය.

ඉන්දු-පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූව ද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අද්විතීය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කුණු පැසිෆික් සාගරයට සහ ඉන්දියන් සාගරයට විශාල උපායමාර්ගික වටිනාකමක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දකුණු පැසිෆික් කලාපය එක්සත් ජනපද නාවික හමුදාවට අත්‍යවශ්‍ය කේන්ද්‍රස්ථානයක් වූ අතර දෙවන ලෝක යුද්ධ සමයේදී ඉන්දියානු සාගරය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව ද පැවසීය.

කොරල් මුහුදේ සහ මිඩ්වේ සටනේදී මෙන්ම දෙවන ලෝක යුද්ධයේදී ද එක්සත් ජනපදය සිය ආධිපත්‍යය ස්ථාපිත කළේ සහ අද්මිරාල් යමමොටෝගේ ගුවන් යානයට වෙඩි තබා බිම හෙළුවේ හවායි ඇතුළු මෙම දකුණු පැසිෆික් කලාපය තුළ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ වැදගත්කම පැහැදිලි කිරීම සඳහා මෙහිදී ‘වින්ස්ටන් චර්චිල්ගේ‘ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ‘ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීම යනු ඉන්දියන් සාගරයේ බලය අහිමිවීමක් වන බවයි‘.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles