Tuesday, April 30, 2024

ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා පහක් ඉදිරිපත් කෙරේ

ජාතික ආර්ථික සභාවට සහායවීම සඳහා පත්කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ඉදිරිපත් කර තිබෙනවා.

උපදේශක කමිටුවේ සාමාජිකයන් පළමු වරට ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාවේ සාමාජිකයන් හමුවෙමින් මෙම යෝජනා ඉදිරිපත්කර ඇති බවයි වාර්තා වන්නේ.

උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් ජාතික ආර්ථික සභාවට සහායවීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු මෙම උපදේශන කමිටුව පත්කළේ පසුගිය මාර්තු 15 වනදායි.

අදාළ යෝජනා පහතින් දැක්වෙනවා,

  1. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහ බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහා පත්කිරීම.
  2. මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම
  3. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.
  4. මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායමක් හඳුනාගැනීම.
  5. සැපයුම් අවහිරතා මඟහරවාගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.

ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝ කාලීන පියවර ගතයුතු බව උපදේශක කමිටුව වැඩිදුරටත් යෝජනා කර තිබෙනවා.

ලොව බොහෝ රටවල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑමේ ප්‍රතිකම්පනය මෙරටට ද දැඩිව මුහුණදීමට සිදුව ඇති බවත් විනිමය අර්බුදය මේ අතර ප්‍රමුඛව පවතින බවත් සඳහන්.

මුහුණදීමට ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් උද්ගතව ඇති ආර්ථික පසුබෑම කෙටි කාලයක දී මඟ හරවා ගත හැකි බවට උපදේශක කමිටුව විශ්වාසය පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles