Tuesday, May 7, 2024

ඩෙල්ටාවෙන් ගැලවීමට එන්නත් මාත්‍රා දෙකම ඕනෑ

වේගවත් පැතිරීමක් ඇති සහ බරපතළ සංකූලතා මතු කරවන ඩෙල්ටා සැර කොරෝනා වයිරසයෙන් බේරීමට නම් එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යෙන්ම ලබා ගත යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

ඇස්ට්‍රාසෙනිකා සහ කොවිෂීල්ඩ් යනුවෙන් හැඳින්වෙන්නේ එකම එන්නත බවත් කිසිදු බියක් සැකක් නැතුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගන්නා ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගෙන මාස දෙකක් නොව මාස පහක් ගත වුවත් දෙවැනි මාත්‍රාව අනිවාර්යෙන්ම ලබාගත යුතු බව පැවසූ ජීවන්දර මහතා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් අයගේ ප්‍රතිශක්ති පද්ධතිය ආශ්‍රිතව මතක සෛල සැළකියුතු ලෙස ගොඩනැංවී ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති හෙයින් එසේ ප්‍රමාදවී හෝ දෙවැනි මාත්‍රාව ලබා ගත්තද ප්‍රතිදේහ ගුණනය හොඳින් සිදුවනු ඇති බවත් ප්‍රකාශ කළේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් අයගේ කාර්යක්ෂම ප්‍රතිදේහ සති දහසයක් යන විට සියයට 26 කින් පමණ අඩු වී පැවතුණද නැවත ප්‍රතිදේහ ගුණනයට අවශ්‍ය කෙරෙන මතක සෛල හොඳින් වර්ධනය වී ඇති බව එම පරීක්ෂණවලදී පෙනී ගියේ යැයිද ඔහු කීවේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් විවිධ කරුණු විමසමින් දිනකට දුරකතන ඇමතුම් සියයකට වැඩි ප්‍රමාණයක් තමාට ලැබෙන බවත් ඒ සෑම සියලු දෙනාටම තමා මේ උපදේශය ලබාදුන් බවත් චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

මෙරට භාවිතා කෙරෙන සියලුම කොරෝනා එන්නත් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles