Sunday, May 5, 2024

ඩොලර් අර්බුදය නිසා ඖෂධ වර්ග 80ක් පමණ මිල දී ගැනීමට නොහැකිවන තත්ත්වයක් !

2022 වර්ෂයට අදාළ වාර්ෂික ඖෂධ ඇස්තමේන්තුවලට අදාළ ඖෂධ මිල දී ගැනීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිල දී ගැනීමට නොහැකිවන තත්ත්වයක් ඇතිව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම අගෝස්තු මස ආරම්භ වී තෝරාගන්නා සමාගම් සදහා ණයවර ලිපි නිකුත් කර මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සදහා වැයවන බැවින් ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුළට ළගා වීම සිදුවන බවත් කෙසේ වෙතත් 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තෙක් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාද වී ඇති බවත් කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස අතිරික්ත වූ ඖෂධ නොවන්නට මේ වන විටත් රට තුළ බරපතළ ඖෂධ හිඟයක් ඇති වී තිබිය යුතු නමුත්, ඉදිරිය පිළිබද නිවැරදි කළමණාකරණයක් සිදු නොවුණහොත් තව මාසයකින් පමණ රට තුළ උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවයි රවී කුමුදේශ් අවධාරණය කරන්නේ.

එබැවින් මාස හතරකට පෙර සිදු කළ යුතු සැලසුම් තවදුරටත් ප්‍රමාද නොකර, ගැටලුවේ යථා ස්වරූපය අවබෝධ කර ගනිමින්, ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා යථාර්ථවාදී ව මැදිහත්වීම මේ මොහොතේ රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි ඔහු පවසන්නේ.

පිළිකා ඖෂධ, වකුගඩු රෝග, හදවත් රෝග, ළමා රෝග සඳහා අවශ්‍ය ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ වැනි ඖෂධ වර්ග ගණනාවක් මේ යටතේ හිඟවීමට ඉදිරියේදී ඉඩ ප්‍රස්තාව ඇති වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles