Tuesday, May 7, 2024

ණය හා පොලී වේලාවට ගෙවීම රජය ලැබු ජයග්‍රහණයක් – රාජ්‍ය ඇමති ලාන්සා

කොවිඩ් වසංගත තත්ත්වයෙන් ලෝකයේ සියලු රටවල් ආර්ථික අර්බුදයකට ලක්ව  සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව ණය වාරික හා පොලී නිසි වේලාවට ගෙවීම රජය ලැබු ජයග්‍රහණයක් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.


රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් හමුවු අවස්ථාවේදීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,


කොවිඩ් වසංගතය නිසා ලෝකයේ ධනවත් හා බලවත් රටවල් පවා ආර්ථිකමය වශයෙන් දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවද එහි බලපෑම්වලට මුහුණ දෙමින් රටේ ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය කටයුතු කරමින් සිටිනවා.
එන්නත්කරණ වැඩපිළිවෙල වගේම කොවිඩ් පාලන වැඩපිළිවෙල පිළිබඳව විපක්ෂය විවිධ චෝදනා එල්ල කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කළා. නමුත් අද වේගවත් හා සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙලක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ක්‍රීයාත්මක වනවා.  රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරනවා. ඒ සඳහා එන්නත්කරණය සිදු කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සිදු කරනවා. 


විපක්ෂය රට වහන්න කියන ගමන් ආර්ථිකය වැටිලා කියනවා. රටක් වහගෙන ආර්ථිකය ගොඩගන්න බැහැ. ජනතාවත් අද එන්නත ලබා ගැනීමට විශාල උනන්දුවක් දක්වනවා. ජනතාවටත් අවශ්‍ය වී තිබෙන්නේ එන්නත්කරණය සිදු කරලා රට සාමාන්‍ය පරිදි විවෘත වනවා දැකීමටයි. සංචාරක කර්මාන්තය, විදෙස් ශ්‍රමිකයින් එවන ප්‍රේෂණ අපට අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා රටේ ආදායම විශාල ලෙස පහත වැටිලා තිබෙනවා. එවන් අවස්ථාවක ණය වාරික හා පොලී නියමිත වේලාවට ගෙවීම තුළින් මූල්‍ය විශ්වාසයක් රජය ගොඩනගා තිබෙනවා. එය රටේ ආර්ථික කළමනාකරණයේ ධනාත්මක තත්ත්වයක්. 


කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම විපක්ෂයේ බලාපොරොත්තුව වූයේ කොවිඩ් වසංගතයෙන් රට අසීරු තත්ත්වයකට පත්වනු දැකීමයි. ඒනිසා ඔවුන් සෑම විටම මෙය විවේචනය කරනවා. එදා යුද්ධය අවස්ථාවෙත් සිදු කළේ මේ දේමයි. විපක්ෂයක් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles