Monday, May 20, 2024

තේ 40%කින් පහළට, රබර් ඉවරෙටම ඉවරයි

රසායනික පොහොර සහ කෘෂිරසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමත්, ඊට විකල්ප ලෙස සුදුසු පොහොර වර්ග සපයා ගැනීමට නොහැකි වීමත් යන කාරණා මත තේ කර්මාන්තය සහ රබර් කර්මාන්තය දැවැන්ත අභියෝගයකට මුහුණ දී ඇති බැවින්, ආර්ථිකය රැක ගැනීම සදහා සංවේදී තීරණයක් ගන්නා ලෙස, ලංකා වැවිලි කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

විශේෂඥයන්ගේ ගණන් බැලීම් අනුව, රසායානික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන ප‍්‍රතිපත්තිමය තීරණයේ බලපෑම හේතුවෙන්, 2022 වසරේදී තේ අපනයනය 40% කින් පහත වැටීමට නියමිත ය.

ඒ අනුව, තේ කර්මාන්තය බිද වැටීමකට ලක්විය හැකි බවත්, වසර 150 කටත් වඩා පැරණි තේ කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් රජය කටයුතු කළ යුතුව ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය රජයට පවසයි.

රසායනික පොහොර හා කෘෂිරසායනික ද්‍රව්‍ය තහනමට තමන් විරුද්ධ නැති බව පවසන එම සංගමය, තහනම ක‍්‍රමාණුකූලව කි‍්‍රයාත්මක කළ යුතුව තිබුණු බවත්, සුදුසු විකල්ප සොයා ගැනීමෙන් පසුව එම තීරණය සදහා රජය යා යුතුව තිබුණු බවත් පවසයි.

තේ කර්මාන්තයේ දී ලංකාවේ උපයා තිබෙන කීර්තිය මැකී යාමට පෙර අදාල බලධාරීන් මේ තත්ත්වය තේරුම් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔවුන් පවසයි.

තේ අපනයනයෙන් ලැබෙන ආදායම හා සසදා බැලීමේ දී පොහොර සදහා වැයවන පිරිවැය 2% ක් පමණක් බව පැවසේ. තේ කර්මාන්තයට අවශ්‍ය පොහොර ආනයනය සදහා ඩොලර් මිලියන 30 ක් පමණ වැය වන අතර, තේ අපනයනයෙන් උපයන ආදායම ඩොලර් බිලියන 1.3 කි.

රබර් වගාව සම්බන්ධයෙන් ගත් විට, රබර් වගාකරන අක්කර විසි දහසක පමණ ප‍්‍රමාණයකට දිලීර රෝගයක් බලපා ඇති අතර, 1800 ගණන්වලදී මෙරට කෝපි වගාව අතුගා දැමූ වසංගතය හා සමාන තත්ත්වයකට රබර් වගාවද ගොදුරු වෙමින් තිබෙන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වෙනුවෙන්, එහි සභාපති, භාතිය බුලූමුල්ල සහ එහි මාධ්‍ය ප‍්‍රකාශක රොෂාන් රාජදුරෙයි යන මහත්වරු මෙම අදහස් පළ කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles