Friday, May 3, 2024

පාගමන කඩාකප්පල් කර අමාරුවේ වැටෙන්න එපා – උදය ගම්මන්පිල

මේකාලයේ ශ්‍රී ලංකාවේ නීතිය තුළ දණ්ඩ නීති සංග්‍රහ 3ක් ක්‍රියාත්මක වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පළමුවැනි දණ්ඩ නීති සංග්‍රහය කළු-සුදු එකක් වන බවත්,එය සාමාන්‍ය ජනයාට ක්‍රියාත්මක වන බැවින් සාක්ෂි තිබුණහොත් අත්අඩංගුවට ගෙන නීති මගින් ක්‍රියා කිරීමේ හැකියාව එයට තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

දෙවැන්න කොළ-නිල් දණ්ඩ නීති සංග්‍රහය වන බවත්,ආණ්ඩුවේ අයට ක්‍රියාත්මක වන්නේ එය බැවින් සාක්ෂි තිබුණත් අත්අඩංගුවට ගැනීම් සිදුනොවන බවත්,එය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේනම් චම්පික හෝ ජෝන් වැන්නන්ට නිදහසේ සිටින්නට‍ හැකියාවක් නැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(25)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

තුන්වැන්න කහ-රතු බැවින් සාක්ෂි නැතත්,කටකතා තිබීම පමණක් මෙම දණ්ඩ නීති සංග්‍රහය අනුව අත්අඩංගුවට ගෙන හිරේ දැමීමට ප්‍රමාණවත් බව හෙතෙම කියා සිටියේය.

කුමන බාධක පැමිණියද විරෝධතා පාගමන 28 වන දින පවත්වන බවත්,වාහන තදබදයක් ඇතිවන බව පවසමින් වාරණ නියෝග හරහා එය කඩාකප්පල්කිරීමට කටයුතු නොකරන ලෙසත්,එහෙම කිරීමට උත්සාහ ගෙන අමාරුවේ නොවැටෙන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.

අදහස් ප්‍රකාශ කිරීම,රැස්වීම,විරෝධතා දැක්වීම මූලික අයිතියක් වන බැවින් අධිකරණ නියෝග ලබාගැනීමට යන පොලිස් නිලධාරීන්ට තමන් අනතුරු ඇඟවීම් කරන බවත්,කඩාකප්පල් කරනු ලැබුවහොත් අධිකරණයට යන බැවින් එම පොලිස් නිලධාරීන්ට උසස්වීම්,විදෙස් ශිෂ්‍යත්ව ආදිය ලැබීමේදී ගැටළු සහගත තත්ත්වයක් ඇතිවනු ඇති බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් මේවන විට සමෘද්ධි නිලධාරීන්ගේ නිවාඩු අහෝසි කොට ඔවුන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා යොදවා ඇති බවත්,පා ගමනට සමෘද්ධි නිලධාරීන්ගේ සහය ලැබෙන බැවින් ඊට බිය වී මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles