Sunday, May 19, 2024

පොත් කදමලු බැඳගෙන යාපනයට නෑගම් යාම..

දකුණේ කලාකරුවන්, ලේඛකයන් සහ සරසවි සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් ලියැවුන පොත් 10000 ක් යාපනය පුස්තකාලයට පරිත්‍යාග කළහ.
මීට දශක කීපයකට පෙර ගිනිබත් කෙරුණු යාපනය පුස්තකාලයට එම ග්‍රන්ථ පරිත්‍යාග කෙරුණේ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් විසින් දෙමළ භාෂාවට පරිවර්තනය කළ උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා ග්‍රන්ථය සහ සිංහලට නැගුණු වීඅයිඑස් ජෙයපාලන්ගේ කෙටි නව කතා තුනක් එළිදැක්වීමේ උත්සවයට සමගාමීවයි.
උතුරේත් දකුණේත් සිත් යා කිරීම සඳහා භාෂාව ප්‍රධාන වන බව පවසන උපුල් ශාන්ත සන්නස්ගල ඒ සඳහා කරන ලද වෑයමක ප්‍රතිඵලයක් වශයෙන් දකුණේ කණ්ඩායමක් එක් වී ග්‍රන්ථ පරිත්‍යාග කිරීම සඳහා කටයුතු සංවිධානය කළ බව බීබීසී යට පැවසීය.
පොත්පත් සහ භාෂාව යොදා ගනිමින් එකිනෙකා තේරුම් ගැනීම සඳහා ගත් වෑයමේ පළමු පියවර වශයෙන් මෙම අවස්ථාව හැඳින්විය හැකි බවයි ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල සඳහන් කළේ.

“අපි ඊළඟට උත්සාහ කරනවා උතුරේ පොඩි දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා අදහස් විමසලා ඒ හරහා පොත් 25ක් තෝරලා, එම පොත් සිංහල භාෂාවට පරිවර්තනය කරන්නත් සිංහල භාෂාවෙන් ලියැවුණු පොත් 25 ක් දෙමළ භාෂාවට පරිවර්තනය කරන්නත් අපි අවුරුද්දක් ඇතුළත බලාපොරොත්තු වෙනවා.”

කිසියම් ජාතිවාදී, ආගම්වාදී පිරිසක් විසින් ආසියාවේ විශාලතම ලේඛනාගාරය ලෙස හැඳින්වුන යාපනය පුස්තකාලය ගිනිබත් කළ බව පවසන උපුල් ශාන්ත සන්නස්ගල: “ඒ කම්පනය දකුණේ අපට දැනෙනවා. ඒ නිසා අපි කල්පනා කළා මේක නැවත වතාවක් ගොඩ නගන්න අවශ්‍යයි කියලා. පුස්තකාලයක් ගොඩ නගනවා කියන්නේ රටක් ගොඩ නගනවා වගේ වැඩක්,” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

“දෙමළ භාෂාවෙන් ලියැවුණු පොත් 25%ක් පමණ, තවත් 20%ක් 25% ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු පොත් අනෙක් පොත් සිංහල භාෂාවෙන් ලියැවුණු පොත්.”

කණ්ඩායමක් වශයෙන් එක් වී ගනු ලැබූ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ග්‍රන්ථ එක් රැස් කොට පරිත්‍යාග කළ බවත් ඔහු පැවසීය.

යාපන විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් මෙම උත්සවයේ සම සංවිධායකවරයෙක්.

සාහිත්‍යය යනු හුදු ග්‍රන්ථයක් මුද්‍රණ ද්වාරයෙන් නිකුත් කිරීම පමණක් නොවන බව බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා, එය සමාජගත කිරීම පිණිස සංවාදයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.

ලබන ජනවාරි මාසයේ යාපනයේ පැවැත්වීමට නියමිත කලා උළෙල පිළිබඳව යාපනය පුස්තකාලයේ පැවති හමුවේදී මූලික සාකච්ඡාවක් සිදු වූ බවත් ඔහු පැවසීය.

“එවැනි උත්සාහයක් කවුරු විසින් දැරුවත් අනිවාර්යයෙන්ම හැකි උපරිම සහයෝගය දෙන්න සූදානම්.”

වැඩිදුරටත් අදහස් දැක්වූ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල: “මේ කණ්ඩායමට නමක් නැහැ. ඒකට කලාකරුවන්. විද්වතුන්, විද්‍යාඥයින්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන්, පාසල් දරුවන්, දෙමව්පියන් එකතු වෙලා පනහක කණ්ඩායමක් අද යාපනයට ආවේ,”පැවසීය.

 

මූලාශ්‍රය – BBC සිංහල

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles