Sunday, May 19, 2024

වන ජීවිය නැතැයි කිව් යාල හෝටල් – අගමැති තහනම් කරයි

යාල ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිත සියලූම හෝටල් ඉදිකිරීම් වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත.


 ඉකුත් ආණ්ඩු සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඥාතීන් සහ ඔහුගේ දේශපාලන හිතවතුන් විසින් ආරම්භ කළ යාල ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිතව අනවසර හෝටල් ඉදිකිරීම පිළිබඳ මුල්වරට හෙළිදරව් කරනු ලැබුවේ ‘සත්හඬ’ පුවත්පත විසිනි. ඒ 2015 ජූලි මස 15 වන දින නිකුත් වූ ‘සත්හඬ’ පළමු කලාපයෙනි. ඡුායාරූප සාක්ෂි සහිතව ඒ බව පෙන්වා දෙනු ලැබිණි.


යාල ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිත පේ‍්‍රරක කලාපයේ : (Buffer Zone) ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල මෙම හෝටල් ඉදිකරමින් පැවති අතර අක්කර දහසක පමණ භූමියක් ඒ සඳහා වෙන් කරගෙන තිබිණි.


 වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක‍්‍රියාත්මක වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙය වීම මත වුවත් යාල පරිසර විනාශය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූයේ නැත.


යාල වන විනාශය පිළිබඳව ‘සත්හඬ’ පුවත්පතේ පළවූ ලිපිය පාදක කරගනිමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවීන්ද්‍ර කාරියවසම් මහතා 2015.06.08 වන දින ලිපියක් මඟින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර තිබිණ.


ඊට පිළිතුරු වශයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක මහතා ලිපියක් එවමින් කියා ඇත්තේ එවැනි හෝටල් ඉදිකිරීමක් යාල වනෝද්‍යානය ආශ‍්‍රිතව සිදු නොවන බවයි.


තතු එසේ තිබියදී යාල වනෝද්‍යානය ආශ‍්‍රිත සියලූම හෝටල් ඉදිකිරීම් වහාම නතර කිරීමට ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලංකා සංචාරක මණ්ඩලයට සහ අදාළ අංශවලට නියෝග කර ඇත.


ඉකුත් නොවැම්බර් 22 වන දින දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් දකුණු පළාතේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරින් සමඟ කොග්ගල බීච් හෝටලයේ පැවති විශේෂ සාකච්ඡුාවක දී අගමැතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.


යාල වනෝද්‍යානය ආශ‍්‍රිත ඉඩම් ඉදිකිරීම් සඳහා යොදාගැනීම වහාම තහනම් කරන ලෙසත් ඉදිකිරීමට යෝජිත ව්‍යාපෘති වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසත් අගමැතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.


අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේ දී වැඩිදුරටත් අනාවරණය වූයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 1033ක් සහ තවත් අක්කර 350 ක් හෝටල් ව්‍යාපෘති සඳහා යොදාගෙන තිබූ බවයි.


(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles