Friday, May 17, 2024

පොස්‌පේට්‌ ගිණි ගැණීම-පසුගිය රෙජීමයේ ප්‍රබල හස්තය කවුද?

සීමාසහිත එප්පාවල පොස්‌පේට්‌ රාජ්‍ය සමාගමේ පරිපාලන ගොඩනැඟිල්ලේ ඊයේ (21 වැනිදා) අලුයම 2.00 ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් එහි තිබූ අභ්‍යන්තර විගණන අංශය, ලේඛනාගාරය සැපයුම් අංශය ඇතුළු වටිනා ලිපි ලේඛන සහිත තවත් කාර්යාල කීපයක්‌ මුළුමනින්ම විනාශයට පත්වී ඇත.

පසුගිය රජය සමයේ එප්පාවල පොස්‌පේට්‌ සමාගමේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා රැසක්‌ සිදුවූ බව කියන අතර පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, අල්ලස්‌ කොමිසම සහ බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබිණි.

මෙම විමර්ශන කටයුතු සිදු වෙද්දී පොස්‌පේට්‌ සමාගමේ ලිපි ලේඛන අංශය ගිනිගෙන විනාශවීම පිටුපස කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
පොස්‌පේට්‌ සමාගමේ සිදුවූ මහා පරිමාණ වංචා රැසකට අදාළ රහස්‍ය ලිපි ගොනු රැසක්‌ මෙම ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි.

මෙම හදිස්‌සි ගින්න සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යොදවා ඇති බව උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතා පැවසීය.

පසුගිය රජය සමයේ පොස්‌පේට්‌ සමාගමේ සිදුවූ ටෙන්ඩර් ගනුදෙනු ඇතුළු තවත් මහා පරිමාණ ගනුදෙනු රැසක්‌ සම්බන්ධයෙන් විශාල මූල්‍ය අක්‍රමිකතා පැවැති බව පොලිසිය පවසයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම මහා පරිමාණ හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කළ අතර එම සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු තවත් පුද්ගලයන් රැසකගෙන් පසුගිය මාස කීපයේදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.

ඊයේ අලුයම 2.00 ට පමණ ඇති වූ හදිසි ගින්නෙන් සීමාසහිත එප්පාවල පොස්‌පේට්‌ රාජ්‍ය සමාගමේ සැපයුම් අංශය, අභ්‍යන්තර විගණන අංශය හා ලේඛනාගාරය මුළුමනින්ම දැවී යැමෙන් වැදගත් ලිපි ගොනු සහ පරිගණක ඇතුළු කාර්යාල උපකරණ රැසක්‌ විනාශ වී ඇත.

මෙම ගින්නට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සමාගමට රුපියල් ලක්‍ෂ හැටක පමණ අලාභයක්‌ සිදුවී ඇති බව පොලිසිය පවසයි.

ගිනිගැනීම ආරම්භවීමත් සමගම සමාගමේ ආරක්‍ෂක අංශ නිලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් කළ දැනුම්දීමක්‌ මත එප්පාවල පොලිසිය සහ අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ භට කණ්‌ඩායම් වහා එහි ගොස්‌ ගින්න ව්‍යාප්ත වීම වැළැක්‌වීමට පියවර ගෙන තිබේ.

එහෙත් ඒ වනවිටත් එම සමාගමේ සැපයුම් අංශය, අභ්‍යන්තර විගණන අංශය සහ ලේඛනාගාරය දැවී විනාශ වී ඇත.

මේ පිළිබඳව සීමාසහිත එප්පාවල පොස්‌පේට්‌ රාජ්‍ය සමාගමේ සභාපති උපාලි අනුරාධ දිසානායක මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක්‌ නොවන බව තමා තරයේ විශ්වාස කරන බවයි.

මෙය කිසියම් පිරිසකගේ කඩාකප්පල් ක්‍රියාවන් මත සිදුවූවක්‌ද නැතහොත් වෙනත් හේතුවක්‌ මත සිදුවූවක්‌ද යන්න පිළිබඳව විමර්ශනයක්‌ පවත්වා එහි නියම තත්ත්වය හෙළි කිරීම එප්පාවල පොලිසිය විසින් සිදු කරනු ඇති බවත් ඒ මහතා කීය.

මේ අතර පසුගිය පාලන සමයේ එම සමාගමේ සිදුවී ඇති බව කියන අවිධිමත් මූල්‍ය ගනුදෙනු කීපයක්‌ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලිවලට අනුව රජයේ විමර්ශන අංශ කීපයක්‌ විසින් පරීක්‍ෂණ ආරම්භ කොට ඇති බැවින්, ඊට අදාළ ලිපි ගොනු එම අංශ භාරයේ පැවැතීම නිසා සහ ගින්නට හසුවූ අංශවල තිබූ වැදගත් ලිපි ගොනුවල ඡායාපිටපත් සුරක්‍ෂිත ලෙස ඇති නිසා ඒ පිළිබඳව ගැටලුවක්‌ නොමැති බවත් උපාලි අනුරාධ දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles