Saturday, May 18, 2024

බණ්ඩාරනායක ඝාතනයේ නොකී කතාවක්

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයෙන් පසු ඩබ්ලිව්. දහනායක අගමැති ධුරයට පත්වූ බව අප බොහෝ කාලයක් පුරා අසා ඇති කතාවකි. එනමුත් එවකට අග්‍රාමාත්‍ය ‍ලේකම්ව හුන් බ්‍රැඩ්මන් වීරකෝන් පවසන්නේ දහනායක වැඩබලන අගමැති ධුරයට පත්වූයේ බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය වීමට පෙර බවය. ඒ ගැන පනස් හත් වසරක් පුරා රටේ තිබෙන වැරදි මතය නිවැරදි කරමින් ඔහු ලක්බිම ඉරිදා සංග්‍රහයට සත්‍ය කතාව හෙළි කළේ මෙසේය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අනුස්මරණ උත්සව යෙදෙන හැම වසරකම පැවසෙන ප්‍රකට කතාවක් වන්නේ අගමැතිවරයාගේ මරණයෙන් පසුව විජයානන්ද දහනායක අගමැති ධුරයට පත්වුණේ අහම්බයෙන් කියල. එය සත්‍යයක්ද?
නැහැ, ඒක සත්‍ය කතාවක් නොවෙයි.

අපි දන්න තරමින් මේ සිද්ධිය පිළිබඳව පැවසිය හැකි ඉහළම රාජ්‍ය නිලධාරියා ඔබයි.
ඔව් මම එවකට අගමැතිව හුන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ අග්‍රාමාත්‍ය ‍ලේකම්. ඒ නිසා මම හොඳටම දන්නවා දහනායක මහත්තයා වැඩබලන අගමැති ධුරයට පත්වුණේ බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය වූ නිසා නොවේ.

අගමැතිවරයා ඝාතනය වූ 1959 සැප්තැම්බර් මාසෙ විසි හතර බ්‍රහස්පතින්දා දිනය ඔබට මතකද?
ඔව් හොඳට මතකයි. එයින් දවස් හතරකට පසුව ඒ කියන්නෙ 1959 සැප්තැම්බර් විසි අට සඳුදා බණ්ඩාරනායක මහත්තයා විදේශගතවීමට නියමිතව තිබුණා.

කුමන කටයුත්තක් සඳහා ද?
නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ වාර්ෂික සම්මේලනය ඇමතීමට.

අගමැතිවරයකු රටින් බැහැරව යන විට, එම කාලයේ සිදුවන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මොනවාද?
අගමැතිවරයා රටෙන් බැහැරව සිටින කාලයේ වැඩබලන අගමැතිවරයාව නම් කර, ආණ්ඩුකාරවරයාට ලිඛිතව දැනුම් දීමයි රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත.

සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවක කිසියම් වැඩ බලන අගමැතිවරයකු පත් කරන්නේ කිනම් නිලයක් දරන අයෙකුද?
සාමාන්‍ය සම්ප්‍රදාය සහ පිළිවෙත වන්නේ එම අවස්ථාවේ සභානායක ධුරය දරන පුද්ගලයාව වැඩබලන අගමැති ධුරයට පත්කිරීමයි. බොහෝ විට ඔහු අගමැතිවරයාට පසුව සිටින පක්ෂයේ ජ්‍යෙෂ්ඨයා.

බණ්ඩාරනායක අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට යන අවස්ථාවේ කවුද සභානායකව  සිටියේ?
සී.පී. ද සිල්වා මහත්තයා.

ඇයි. සී.පී. ද සිල්වා නම් නොකළේ ?
එතුමා ඒ දවස්වල විදේශගතවයි හිටියෙ.

රාජකාරි ගමනක්ද?
එතුමා රෝගාතුරව අසාධ්‍යව ලන්ඩන් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් හිටියා.

සමහරු කියනවා, කැබිනට් රැස්වීමකදී අගමැති බණ්ඩාරනායක ඝාතනය කිරීමේ අදහසින් දුන් වස යෙදූ කිරි කෝප්පයක් සී.පී. ද සිල්වා වැරදීමකින් පානය කළාය කියලා. ඔහු රෝගාතුර වූයේ එයින්ය කියලා ?
ඔය වගේ සිද්ධීන් එක්ක දූෂමාන ආරංචි ඇති වෙනවා. හැබැයි ජේම්ස් මැනර්ගේ ‍පොතෙත් ඔය කතාව තියෙනවා.

සැප්තැම්බර් විසිහතර වෙනිදා ඔබ අගමැති බණ්ඩාරනායක හමුවුණේ කීයට විතරද?
සවස් කාලයේ.

කොතැනද?
පාර්ලිමේන්තුවේ දවෛනි තට්ටුවේ අගමැති කාර්යාලයේදී.

මොනවද ඔබට ඒ අවස්ථාවේ තිබුණ රාජකාරි කටයුතු?
සාමාන්‍ය ලෙස එතුමා අත්සන් කළ යුතු ලිපි, ලියවිලි තිබුණ. එතුමාගෙන් උපදෙස් ලබාගත යුතු ලිපි ‍ලේඛන රාශියක් තිබුණා.

ඒවායින් ප්‍රමුඛ වුණේ ?
වැඩබලන අගමැතිවරයාව නම් කිරීම. මම බණ්ඩාරනායක අගමැතිතුමාගෙන් ඇහැව්වා වැඩබලන අගමැතිවරයා ලෙස නම් කරන්නේ කාවද කියලා.

බණ්ඩාරනායක අගමැතිවරයාගේ පිළිතුර වුණේ මොකක්ද?
කිසිම පැකිලීමක් නැතිව අගමැතිවරයා එකපාරම කිව්වා දහනායක මහත්තයා කියලා.

ඊට ඔබේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?
මට පුංචි පුදුමයකුත් ඇති වුණා.

එවකට විජයානන්ද දහනායක මහත්තයා මොන අමාත්‍යංශයද භාරව හිටියේ ?
ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා.

ඔහු මහජන එක්සත් පෙරමුණට එකතු වුණ ප්‍රබල පක්ෂයක නායකයෙක්ද?
එතුමා භාෂා පෙරමුණේ කෙනෙක්. එතුමා පමණයි භාෂා පෙරමුණෙන් එවර පාර්ලිමේන්තුව නියෝජනය කළේ.

එහෙම නම් ඇයි බණ්ඩාරනායක අගමැතිවරයා විජයානන්ද දහනායක අධ්‍යාපන ඇමැතිවරයාව වැඩ බලන අගමැතිවරයා වශයෙන් නම් කළේ. ඔහු හැර කැබිනට්  මණ්ඩලය ඇතුළේ වෙනත් බලගතු ඇමැතිවරුන් සිටියේ නැද්ද?
ඇත්තම කියනව නම් එදා වැඩබලන අගමැතිවරයා නම් කරන වෙලාවෙ තිබුණේ සාමාන්‍ය තත්ත්වයක්. නිව්යෝර්ක් නුවරට යන අගමැතිවරයා දවස් පහකින් හයකින් ආපහු ලංකාවට එනවා. නැවත අගමැතිවරයා වැඩ කරනවා. වැඩබලන අගමැතිවරයාට රාජකාරි කරන්න තියෙන්නෙ දවස් පහක හයක ‍පොඩි කාලයක්.

දවස් පහකට හයකට හරි වෙන ඇමැතිවරයකු වැඩබලන අගමැතිවරයා වශයෙන් පත් නොකළේ ඇයි කියලද ඔබ හිතන්නෙ?
ඔය කාලය වන විට ඇමැති මණ්ඩලය ඇතු‍ලේ බෙදීම් තිබුණා. වාමාංශික දක්ෂිණාංශික වශයෙන්. පිලිප් ගුණවර්ධනලා, ස්ටැන්ලි සොයිසලා කොටස් දෙකකට වෙලා හිටියා. මම හිතන්නෙ බණ්ඩාරනායක අගමැතිවරයා හිතන්න ඇති මේ වාමාංශික, දක්ෂිණාංශික කොටස් දෙක අතරේ මධ්‍යස්ථ මතධාරියා ගාල්ලෙ විජයානන්ද දහනායක අධ්‍යාපන ඇමැතිවරයා කියලා.

වැඩබලන අගමැතිවරයකු පත්කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන ප්‍රතිපාදන මොනවද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 46 වෙනි වගන්තිය යටතේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරල තියෙනවා. අගමැති රටින් බැහැරව සිටියදී හෝ තාවකාලිකව දුබලතාවයකින් පෙළෙන විට හෝ අගමැති වෙනුවෙන් වැඩ බැලීම සඳහා…. යනුවෙන් එහි සඳහන් වෙලා තියෙනවා.

බණ්ඩාරනායක අගමැතිවරයා, වැඩ බලන අගමැතිවරයා පත්කිරීමේ ලිපියට අත්සන් කළේ කිනම් ඉරියව්වකින්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වැනි වගන්තියේ එක් තැනක තියෙන තාවකාලික දුබලතාවය කියන වචන දෙක තාලයට කියලා පුංචි උපහාස හිනහවකුත් එක්ක එතුමා ලිපියට අත්සන් කළා.

ඔබ ඊළඟට ගත් පියවර කුමක්ද?
මම ඒ එක්කම ‘කුවීන් හවුස්’ (රැජින මන්දිරය) එකට ගියා.

ඇයි ඔබ රජ ගෙදර එහෙම නැතිනම් රැජින මන්දිරයට ගියේ ?
මගේ ඊළඟ රාජකාරිය වියයුත්තේ වැඩබලන අගමැතිවරයා නම් කළ ලිපිය ආණ්ඩුකාරවරයා අතට පත්කිරීමයි. එවකට අග්‍රාණ්ඩුකාරවරයා සර් ඔලිවර් ගුණතිලක. මම  ඒ ලිපිය සර් ඔලිවර්ගේ ‍ලේකම් එන්.ඩබ්ලිව්. අතුකෝරළට භාර දුන්නා. සාමාන්‍ය රාජ්‍ය සම්ප්‍රදාය එහෙමයි.

සැප්තැම්බර් විසිපහ සිකුරාදා උදෑසන අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට වෙඩි තැබිමේ සිද්ධිය ඔබ දැනගන්නෙ කොහොමද?
එදා උදේ අගමැති කාර්යාලයේ, මම අගමැතිතුමාගේ නිව්යෝර්ක් වැඩ සටහන මුද්‍රණය කිරීම සඳහා එය කියවමින් හිටියා. එතකොට මම අගමැතිවරයාට වෙඩි තැබිමේ සිද්ධිය දැනත්තෙ.

කවුද ඔබට එය දැනුම් දුන්නෙ?
ඩී.පී. අමරසිංහ දුරකථනයෙන් කතා කරල මට කිව්වා  කවුද ලොක්කට වෙඩි තිබ්බා කියලා ඩී.පී. අමරසිංහ තමයි අගමැතිවරයාගේ පෞද්ගලික සහායකයා.

ඊළඟට ඔබ මොකද කළේ ?
ඩ්‍රයිවර්ලව හොයන්න වෙලාවක් නොවෙයි ඒක. මම මගෙ පියට් කාර් එක පදවාගෙන රොස්මිඩ් ප්‍ලේස් ගියා.

රොස්මිඩ් පෙදෙසේ අගමැති නිවසේ ඔබ දැක්කෙ මොනවද?
මම එතැනට යන වෙලාවෙ බණ්ඩාරනායක අගමැතිවරයාව මහ රෝහලට ගෙනැහිල්ලා. නිවසේ සාලයේ බිහිසුණු පෙනුමක් තිබුණා. චීවරධාරියෙක් වැටිල කෙඳිරිගාමින් හිටියා. ඔහුගෙ මුරට හිටියෙ රයිෆලයක් ගත් එකම එක කොස්තාපල් කෙනෙක් විතරයි.

ඊළඟට ඔබ මොනවද කළේ ?
මම ඉක්මනටම මහ රෝහ‍ලේ අගමැතිතුමා හිටිය මර්චන්ට් වාට්ටුවට ගියා. එතකොට සර් ඔලිවර් එතැනට ඇවිල්ලා ඒ අවස්ථාවල සුදුසු රාජකාරි කටයුතු මෙහෙයවමින් හිටියා.

එවැනි හදිසි අවස්ථාවක කරන්න ඕන කටයුතු රාශියක් කරන්න අවශ්‍යව තිබුණද?
හුඟක් සම්පූර්ණ වෙලයි තිබුණේ. පනස් අටේ ජාතිවාද කෝලාහල නිසා පනවපු හදිසි නීතිය ඒ වන විටත් ක්‍රියාත්මකව තිබුණා. වැඩ බලන අගමැතිවරයකුත් නම් කරලා තිබුණා.

මේ වගේ අවස්ථාවක අගමැතිවරයකු එහෙම නැතිනම් රාජ්‍ය නායකයකු නම්කර නැතිනම් ගන්න ක්‍රියා මාර්ගය මොකක්ද?
පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත හිමි වෙතැයි සිතෙන කෙනාව රාජ්‍ය නායකයා වශයෙන් පත්කරනවා. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ ඩී.බි. විජේතුංග මහත්තයා ජනාධිපති වශයෙන් පත්වුණේ එහෙමයි.

අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වැඩබලන අගමැතිවරයා වශයෙන් නම් කළ විජයානන්ද දහනායක එම තනතුරට පත්වූ පිළිවෙල කොහොමද?
රජ ගෙදරදී අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ඉදිරිපිට විජයානන්ද දහනායක මහතා වැඩබලන අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා. එම අවස්ථාවට සහභාගි වූයේ අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයා වන මමයි, අග්‍රාණ්ඩුකාර ‍ලේකම් එන්.ඩබ්ලිව්. අතුකෝරාළයි, දහනායක මහත්තයාගේ පෞද්ගලික ‍ලේකම් එම්.ඒ. පෙරේරා පමණයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles