Tuesday, May 7, 2024

බදුල්ලේ අක්කර දෙකක කුණු කන්ද ක්‍රීඩාංගණයක් වෙයි

බදුල්ල නගරයට වසර පනහක් තිස්සේ පාරිසරික ගැටලුවක්ව පැවති අක්කර දෙකක කුණු කන්ද ගොඩකර ඒ මත නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ප්‍රදේශයේ ජනතාව මෑත කාලයේ ලැබු ජයග්‍රහණයක් බව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා කියයි.

වසර පනහක් තිස්සේ ප්‍රදේශයෙන් ඉවත් කරන දිරන හා නොදිරන ද්‍රව්‍ය ටොන් 75,000ක් පමණ නගරයට ආසන්න ජාතික ක්‍රීඩාංගණ කිහිපයකට මැදිව ගොඩකර තිබියදි පාරිසරික ප්‍රශ්න රැසකට ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙමින් සිටිය අතර ඇතැම් මැතිවරණ පොරොන්දු වුයේ ද කසළ කන්ද ඉවත් කිරීමයි.

අතීතයේ මේ ප්‍රදේශය පිරිසිදු ජලය පිරී තිබුන වැවකින් සමන්විතව තිබු අතර පසු කාලීනව ප්‍රදේශයේ ජනගහනයේ වර්ධනයත් සමග නගර සභාවට වැවේ කසළ ගොඩකිරීමට සිදුව ඇත.

පසුගිය කාලයේ සති ගණනාවක් මේ කසළ කන්ද ගිනි ගැනීම නිසා ප්‍රදේශයේ සියලුම පාසල් හා රාජ්‍ය ආයතන දින ගණනාවක් වසා තැබීමටද සිදුවු අතර ජන ජීවිතයද අඩාල විය.කසළ කන්දෙන් බැහැරවන අපදව්‍ය ජලය බදුළු ඔයට එක්වීම නිසා එහි ජලය අපවිත්‍රව පැවතුණි.

පැවති ආණ්ඩු හා නගර සභා මේ කසළ ගොඩ නගරයෙන් ඉවත් කිරීමට සැළසුම් ක්‍රියාත්මක කළත් ඇතැම් නිළධාරීන්ගේ සෘජු මාදිහත්වීමක් නොවීම නිසා එය අතරමග නැවතුන බව නගරාධිපතිවරයා කියයි.

කසළ කන්ද ක්‍රීඩාංගනයක් බවට පත් කිරීම සදහා පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් මිලියන 30ක මුදලකුත් ඌව පළාත් සභාව මිලියන 12ක මුදලකුත් ලබාදී තිබෙනවා.

කසළ කන්දේ ඉදිකළ ක්‍රීඩාංගණයට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදී වොලිබෝල් හා නෙට්බෝල් ක්‍රීඩාංගණයක් හා ඇවිදින මංතීරු ඉදිකරන්නත් කටයුතු කරන බව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles