Tuesday, May 7, 2024

මහින්දගෙන් මල් ශාලාවට ලක්ෂ 9ක පොල්ලක් !

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දකුණු පාළාත ආශ‍්‍රිතව පැවති අවමගුල් සඳහා ජනාධිපති නියමයෙන් මල්වඩම් සැපයූ මාතර නගරයේ ප‍්‍රධාන මල් ශාලාවකට රුපියල් ලක්ෂ 9ක පමණ මුදලක් ගෙවීමට හිඟව ඇති බව වාර්තාවේ.

පුවත්පත්වල පලවූ මරණ දැන්වීම්වලට අනුව සහ රාජපක්ෂ හිතවාදීන්ගේ අවමගුල් වලට මල් වඩම් සැපයීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් ඇතුළු කිහිපදෙනෙක් ක‍්‍රියාත්මකවූ බවත්, මාතර,හම්බන්තොට,බෙලිඅත්ත,ගාල්ල,අගුණකොළපැලැස්ස ආදී ප‍්‍රදේශවල දිනකට අවමගුල් තුන හතරකටම මෙලෙස මල්වඩම් සැපයීම සිදුකර ඇත්තේ මාතර දුම්රියපොළ පාරේ රේලන්ඞ් මල් ශාලාව වෙතින්ය.
මසකට රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් ඒ සඳහා රේලන්ඞ් මල් ශාලාවට ගෙවා ඇති අතර 2014 ඔක්තොම්බර් සිට ජනවාරි මාසය දක්වා රුපියල් ලක්ෂ 9කට වැඩිමුදලක් ගෙවීමට නියමිතව තිබියදී ජනධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්විය.
නව රජය විසින් අදාල මුදල ගෙවීම නතරකර ඇති අතර මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් නොගෙවූ රුපියල් මිලියනයකට ආසන්න මුදල නිසා තමන්ගේ ව්‍යාපාරය දැඩි බංකොලොත් තත්ත්වයකට පත්ව ඇතිබව රේලන්ඞ් මල් ශාලාවේ හිමිකරු පැවසීය.
අදාල හිමිකරු විසින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා බලයේ සිටි අවසන් මාස දෙක තුල කිහිපවරක්ම අදාල මුදල් තමන්වෙත ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාල නිලධාරියාගෙන් ඉල්ලා සිටියද ජනවාරි 8 දින වන තෙක් එම මුදල ගෙවීමට කටයුතුකර නැත.
වත්මන් ජනපතිවරයා යටතේද ජනාධිපති ලේකම් කාර්යාලයේ අවශ්‍යතා සඳහා දකුණු පළාත තුල මල්වඩම් සැපයීම සිදුකරන්නේ රේලන්ඞ් මල් ශාලාවම බවත්, පසුගිය මාස ගණනාවට එසේ යවා ඇත්තේ පිටබැද්දර ප‍්‍රදේශයේ පැවති එකම අවමගුලකට පමණක් බවත් ඔහු පැවසීය. එයද ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයෙකුගේ ඥාතියෙක්ගේ අවමගුලක් වෙනුවෙන්ය.
තමන්ට ලැබීමට නියමිත රුපියල් මිලියනයකට ආසන්න මුදල ලබාදෙන ලෙස වත්මන් ජනපතිවරයාටද ලිපියකින් දන්වා ඇති බව මල් ශාලා හිමිකරු වැඩිදුරටත් සඳහන් කලහ.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles