Sunday, May 19, 2024

මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වෙයි!

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ඉතා අසාධ්‍ය තත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ අද(08) උදෑසන අපවත් වන්නට යෙදුණි.

හදවත් සැත්කමක් හේතුවෙන් ඇතිවූ හදිසි තත්වයක් මත විශේෂ ගුවන් යානයකින් සිංගප්පූරුව වෙත වැඩමවූ උන් වහන්සේ දින කීපයක් මුළුල්ලේ විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක් යටතේ ප්‍රතිකාර ලැබූ නමුත් ඊයේ වනවිට උන්වහන්සේගේ තත්වය ඉතා අයහපත් අතට හැරුණි. අද උදෑසන අපවත් වනතුරුම උන්වහන්සේට ඉතා ඉහල ප්‍රතිකාර ලබාදුන්නද තත්වය හොඳ අතට හරවාගැනීමට වෛද්‍යවරුන් අපොහොසත් විය.

1955 මැයි මස 09 වැනි දින ජන්ම ලාභය ලැබූ සෝභිත හිමියන් සිය ජීවිත කාලය පුරාම ශාසනික සහ සමාජයීය උන්නතිය වෙනුවෙන් දැවැන්ත හඬක් නැගූ පැවදි චරිතයක් ලෙස නම්කල හැක. විශේෂයෙන්ම දැඩි දේශපාලනික මතධාරියෙක් ලෙස සිය හඬ සහ බලය රාජ්‍ය නායකයින්ගේ තීරණ පවා වෙනස් කිරීමට තරම් ප්‍රබලත්වයක පැවති බව සැබෑය.

විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුව පෙරලා යහපාලනය සංකල්පය පෙරටු කරගත් නව ආණ්ඩුව ගෙන ඒමට විශාල කාර්යභාරයක් කලේ සෝභිත හිමියන්ය. “සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය“ ට නායකත්වය දෙමින් ඒ හරහා මෙරට දේශපාලන රටාව වෙනස් කිරීමට දැඩි අරගලයක සෝභිත හිමියන් නිරතවිය.

උන් වහන්සේගේ දේහය අද රාත්‍රියේදී ලංකාවට වැඩමවීමට නියමිත අතර විශේෂ කමිටුවක් මගින් උන්වහන්සේගේ අවසන් කටයුතු සැලසුම් කිරීම මේවනවිට සිදුවෙමින් පවතියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles