Wednesday, May 15, 2024

මුතුරාජවෙල සංවර්ධන ගැසටිටුවට එරෙහිව සජබය අධිකරණයට

මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම්කර සංවර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශ ලේකම්වරයා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, වත්තල, මීගමුව, ජා-ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන්, නීතිපතිවරයා ඇතුලු 14 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ මුතුරාජවෙල මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ පුද්ගලයන් ලක්ෂ 03 ක් පමණ ජීවත් වන අතර එයින් 5,000 ක පමණ පිරිසක් ධීවර, වගා ආදී කටයුතුවල නිරත වන බවයි.

ඔක්තෝබර් මස 07 වනදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන ඒවා සංවර්ධනය කිරීමට අවසර ලබාදී ඇති බවත් පෙත්සමේ සඳහන්.

එය නාගරික සංවර්ධන අධිකාරියට ඉටු කළ නොහැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය සිදු කළ යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ බව ප්‍රකාශ කරනවා.

රැම්සා තෙත්බිමක් ලෙස නම් කළ පසු ඊට මහජනතාව ඇතුළුවීම තහනම් කෙරෙන අතර මේ හරහා අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජීවන කටයුතුවලට දැඩි අගතියක් සිදුවිය හැකි බවයි පෙත්සම්කරුවන් අවධාරණය කරන්නේ.

ඒ අනුව නීතිවිරෝධී ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් පවරා ගැනීමට ගෙන ඇති තීරණය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles