Wednesday, May 1, 2024

මෙවර UN දිනය සංක්‍රමණ කාලයකදී සැමරෙයි – මූන්

ලෝකයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සංක්‍රමණ කාලයකදී මෙවර එක්සත් ජාතීන්ගේ දිනය සැමරෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයෙන් සමුගන්නා බැන් කී මූන් පවසයි.

එහිදී, තිරසාර සංවර්ධනයක් සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ පොරොන්දු ඉටුකිරීම වෙනුවෙන්, ගෝලීය කැපවීමක් සමග මනුෂ්‍යත්වය එළැඹ ඇත්තේ තිරසාය යුගයක් කරා බවද හෙතෙම අවධාරණය කරයි. ඒ අනුව, සංවිධානයේ 71 වැනි සංවත්සරයේදී වඩා හොඳ අනාගතයක් සඳහා මේ සෞඛ්‍ය සම්පන්න පෘථිවි ග්‍රහයා මත සිටින අප රැගෙන යාමට ඉලක්ක 17ක් පවතින බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම, පොසිල ඉන්ධන දහනය සෞභාග්‍ය කරා ගමන් කිරීමේ මාර්ගය යැයි සිතූ මානසිකත්වයෙන් ඔබ්බට මේ වනවිට ලෝකය ගමන් කරමින් සිටින බව පෙන්වා දෙන මූන්, වාර්තාගත උෂ්ණත්වයක් පවතින කාලයක, දේශගුණි විපර්යාස පිළිබඳ වූ පැරිස් සම්මුතියට සාමාජික රටවල් එකාබද්ධ වෙමින් සිටීමේ වැදගත්කමද ඉස්මතු කරයි. මේ දැවැන්ත පියවර නොවැම්බර් 04 වැනිදා සිට බලාත්මක වනු ඇති බවත්, මේ ඓතිහාසික එළැඹුම හරිත, වඩාත් පිරිසුදු හා අවම කාබන් වර්ධනයක් සඳහා වූ අප ලබන හොඳම අවස්ථාවක් බවත් ඔහු කියයි.

එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 08 වැනි මහ ලේකම්වරයාගේ සිට 09 වැනි මහලේකම්වරයා දක්වා වූ සංක්‍රමණ කාලයක පසුවන බවද මූන් පවසා සිටියි. එහිදී, පසුගිය දශකයක කාලය තුළ ලෝක ප්‍රජාවට සේවය කිරීමට ලැබීම තමා ලද ගෞරවයක් ලෙස සලකන බවත්, හවුල්කාර ප්‍රගතියක් සඳහා වූ ශක්තිමත් පදනමක් අප සියලු දෙනා විසින් එක්ව ගොඩනැගූ බවත් ඔහු කියයි. මෙහිදී, කාන්තාවන් සවිබල ගැන්වීම, තරුණ ප්‍රජාව වෙත එළැඹීම හා සියලු දෙනාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා අප තවදුරටත් ඇපකැප වීමෙන් කටයුතු කළ යුතු බවද මූන් පෙන්වා දෙයි.

මේ සියලු කාරණා අතර, අතිශය වේදනාකාරී අත්දැකීම් රැසක් අපි තවමත් අත්විඳිමින් සිටින බවද ඔහු පවසා සිටියි. මැදපෙරදිග, දකුණු සුඩානය, සහේල් හා ඉන් ඔබ්බට නොවිසඳුණු ගැටුම් රැසක් තවමත් අප ඉදිරියේ ඇති බවත්, මේ සිදුවීම් මෙන්ම, ප්‍රචණ්ඩත්වය හා ආපදා හේතුවෙන් අසරණභාවයට මුහුණපා සිටින අවාසනාවන්ත තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට ධෛර්යසම්පන්න එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය දිගින් දිගටම බැඳී සිටින බවත් ඔහු අවධාරණය කරයි.

ලොව පුරා ජනතාව ලබාදුන් සහයෝගයට අවසන් වශයෙන් තමා ස්තූතිවන්ත වන බවත්, එහිදී, සාමය, තිරසාර සංවර්ධනය සහ මානව හිමිකම් වැනි එක්සත් ජාතීන්ගේ ගෝලීය මෙහෙයුම දිගින් දිගටම සාක්ෂාත් කරගැනීම සඳහා ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය අභිනව මහලේකම් අන්තෝනියා ගුටේරෙස් වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් බැන් කී මූන් වැඩිදුරටත් පවසා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles