Thursday, May 2, 2024

යහපාලනයට ඕන දේම කරන්න අධිකරණයෙන් ඉඩ නෑ – වාසුදේව

යහපාලනය වුවද මේ අයට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයටම කරගෙන යාමට මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉඩදී නොමැති බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පවසයි.

වැට් බදු සංශෝධනය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ නියෝගය ලැබුණේ විමල් වීරවංශ මහතා අධිකරණයට ගිය නිසා බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද(13)කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජනතාව පීඩාවට පත්වන බව දැන දැනම,මීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේත් ජනතාවගේත් විරෝධය එල්ලවන බව දන්නා නිසාම බදු සංශෝධනයට අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට ගැසට් නිවේදන මගින් බදු වැඩිකිරීමට ක්‍රියා කළ බව ඔහු පෙන්වා දුන්නේය.

මීට පෙර නොරොච්චෝලෙ බලාගාරයට ගල් අඟුරු ලබාගැනීම සම්බන්ධයෙන් වූ අක්‍රමිකතාව සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය කම්පා වූ බව නානයක්කාර මහතා සඳහන් කළේය.

මේ දූෂණ අක්‍රමිකතා මේ අයුරින් සිදුවෙද්දී දූෂණ විරෝධීන් කොහේ ‍ගොස් ඇත්දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.

රටේ ජනතාව තිරිසන්නු බවට පත්කොට බර අද්දමින් මහ උන් සැප විඳින බවත්,වැට් බදු අහිමිවීමෙන් ආදායම් ලබන අයුරු රටට කිව යුතුව ඇති බවත් නානයක්කාර මහතා අවධාරණය කළේය.

සාලාව ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවටත්,ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවටත් වහා සහන සැලසිය යුතුව තිබුණද එය සිදුනොවුණු බවත්,ඊයේ දිනයේ අදාළ පිරිසෙන් කොටසකට චෙක් පත් ලබාදුන්නද ඊට අදාළ මුදල් ගැනීමට ගිණුම්වල මුදල් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ පසුගියදා ජනාධිපතිවරයා විසින් සමහර අංශ ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් නැති ස්වරූපයෙන් බව කියා සිටි වග සිහිපත් කළේය.

ජනාධිපතිවරයා කියූ එකී කතාවට සම්පූර්ණයෙන් එකඟ වන බවත්,තමන් යෝජනා කරන්නේද ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව යයිද අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඒ නිසාම රට තවත් අගාධයකට තල්ලු නොකොට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ක්‍රියා කළ යුතු බවත්,මේ ආණ්ඩුව ජනතාවගේ ඇස් වලට වැලි ගැසීමට ප්‍රසිද්ධ බවත් හෙතෙම ‍කියා සිටියේය.

එට්කා ගිවිසුම ගැන රටට සියලු තොරතුරු හෙළි කොට ඒ සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්ත විමසීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත්,සති 3න් මැතිවරණයක් පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇති බැවින් ඒ පිළිබඳ ගැටළුවක් නොමැති බව අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles