Monday, May 20, 2024

යහපාලනයේ පරිසරවේදීන් දඩයමට විරෝධය..!

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයන්වන නීතීඥ නුවණ් බෝපගේ සහ කීර්තිරත්න පෙරේරා යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට රජය කටයුතු කිරීම  තුළින් යහපාලන ආණ්ඩුවේ ඊළඟ ගොදුර පරිසරය ආරක්ෂාකරන්නට මැදිහත්වන්නන් බව පෙනෙන්ට ඇත.

පරිසරය විනාශකරන බහුජාතික සමාගම් සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඇතුළු ගෝලබාලයන් ආරක්ෂා කිරීම සහ පරිසර විනාශයන්ට විරුද්ධවන පාර්ශව විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතුය.

මීතොටමුල්ල ජනතා විරෝධයට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව දැඩිලෙස තුවාල ලබා රෝහල්ගතව සිටි නුවන් බෝපගේ සහ කීර්තිරත්න පෙරේරා යන මහත්වරුන් මෙසේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පරිසරය සුරැකීමට කැපවී සිටින සංවිධාන මෙලෙස අදහස් දක්වා ඇත.

“මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්ති සහ සංවිධායක නුවන් බෝපගේ සහෝදරවරු ඊයේ අලුයම පොලීසියෙන් අත්අඩංගුවට ගැනීම අප තරයේ හෙළ දකින අතර පරිසරය නසන උන් නිදැල්ලේ සිටියදී සොබාදහමේ උන්නතිය වෙනුවෙන් හඬ නගන උන් මර්ධනය කිරීමට යහපාලන ආණ්ඩුව දරන උත්සාහයට අපගේ කණගාටුව ප%රකාශ කරමි එමෙන්ම මෙම තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන මෙන් අප පරිසර අමාත්‍යවරයාගෙන්“ ඉල්ලා සිටිමු.

පුජ්‍ය වෑකඳවල රාහුල හිමි

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

“මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ සංවිධායක  නීතිඥ නුවන් බෝපගේ යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන යහපාලන ආණ්ඩුව සිදුකරන පරිසර ක්‍රියාකාරීන් දඩයම අප සංවිධානය ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

 

මෙරට පරිසරය හා ස්වභාවික සම්පත් සංරක්ෂණය කරන බවට පොරොන්දුවී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් පරිසර ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට ඉතා නිවට හා නිර්ලජ්ජිත ආකාරයෙන් උත්සාහ කිරීම කිසිඳු ලෙසකත් අනුමත කල නොහැක. එසේම පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ එළිපිටම ක්‍රියාත්මක කෙරුණු මර්ධනය හමුවේ පවා නොසැලී මෙරට සොබා උරුමයන් ආරක්ෂාකර ගැනීමට පරිසර ක්‍රියාකාරීන් නොබියව අරගල කල බව අප විශේෂයෙන් සිහිපත් කරනු කැමැත්තෙමු.

 

එසේම එම පාලනය පෙරලා වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මෙරට පරිසර ක්‍රියාකාරීන් ද ප්‍රභල මෙහෙයක් සිදුකළ බවද කිව යුතුය. එහි අරමුණ වූයේ මෙරට ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීමට හා පරිසර දුෂණ තත්වයන් වැලක්වීමට පාලකයන් යොමුකර ගැනීමය.

 

නමුත් එවැනි පසුබිමක් තුල වර්තමාන යහපාලන ආණ්ඩුව ද පුරුදු දුර්දාන්ත ගමන් මගේම යමින් මෙරට පරිසරය වනසමින් සිටීම හා පරිසර ක්‍රියාකාරීන් දඩයම් කිරීම ඉතා බියගුළු ක්‍රියාවක් බවද වැඩි දුරටත් අවධාරණය කරනු කැමැත්තෙමු.“

සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles