Sunday, May 5, 2024

යුගදනවි පෙත්සම් විභාගය කල් යයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාගය 12 වනදා දක්වා කල්දමා තිබේ.

පෙත්සම් ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තුන් වන දිනටත් විභාග කෙරුණි.

අදාළ පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ එම විභාගය පැවැත්වුණි.

අද දින පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී එම පෙත්සම්වලට පක්ෂව දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කිරීම සිදුකළේය.

එම අමාත්‍යවරු තුන්දෙනා විසින් ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට නීතිපතිවරයා ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවක් මතු කර තිබුණි.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කළේය.

එම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමෙරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු විදුලිබල අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,  

“ඉදිරියේ දී විදුලිබලාගාරවලට ගෑස් සපයන්නේ සැපයුම්කරු එන්. එෆ්. ඊ ශ්‍රී ලංකා පවර් ලිමිටඩ්. ඒ සමාගම 100%ක් නිව් ෆෝස්ට්‍රස්වලට අයිතියි. එක පැත්තකින් ගෑස් සපයන්නෙත් නිව් ෆෝස්ට්‍රස්. ගෑස් මිල දී ගන්න එන්නෙත් නිව්ෆෝස්ට්‍රස්. හැබැයි මිල දි ගන්න සමාගමේ නිව්ෆෝස්ට්‍රස් වලට තියෙන්නේ 40%යි. විකුණන සමාගමේ 100%යි. එහෙනම් කාට වාසී වෙන්නද මිල ගණන් තීරණය වෙන්නේ. අනිවාර්යයෙන්ම සැපයුම්කරුවට වාසි වෙන්නයි මිල ගණන් තීරණය වෙන්නේ. මේ ප්‍රෝඩාව කරගැනීමට පහසුවීමට තමයි ඩොලර් මිලියන 250ක් ගෙවලා  යුගදනවි සමාගමේ 40%ක කොටස් සමඟ 100%ක පාලන අයිතියත් ලබා ගන්නේ. මේ ගණුදෙනුව සැක සහිතයි. ලංකාවට පාඩුයි කියන එකනම් කිසිම සැකයක් නෑ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles