Wednesday, May 1, 2024

රට තුළ ජාතිවාදී ගැටුම් ඇති කිරීමට ඉඩ නෑ – අනුර කුමාර

රටතුළ ජාතිවාදී ගැටුම් ඇති කිරීමට ඉඩ නොතබන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රට පාලනය කළ සියලු පක්ෂවල අරමුණ රට තුළ අර්බුද ඇති කිරීම බවයි.

යාපනය ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය පාලන සමය යළිත් රට තුළ ජාතිවාදී අරගලයක් ඇති කිරීමට උත්සාහ දරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ලංකාව මෑත ඉතිහාසයේ අදුරුතම සහ දැවැන්ත ඛේදවාචයක් වූ දිනය තමයි 1983 ජූලි මාසේ 23වැනි දා.  මීට අවුරුදු 33 කට පෙර. එම ම්ලේච්ඡු සිදුවීමත් එම අඳුරුතම දිනයෙත් පසුව අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සැකය, අවිශ්වාසය වර්ධනය වීම ප‍්‍රධාන සාධකයක් බවට පත් වුණා. එවැනි අඳුරුතම දිනයක් යලි එම ජන කොට්ඨාශ අතර සමගිය ගොඩනැගීම වෙනුවෙන් සහෝදරත්වයේ දිනය ලෙස නම් කොට සමාජවාදී තරුණ සංගමය ගනු ලබන මෙහෙය අපේ රටේ ජාතික සමඟිය ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා කියලා අපි විශ්වාසය කරනවා. අපි අපේ රටේ ජනතාව අතර සමගිය පිළිබඳවත් සහෝදරත්වය පිළිබඳවත් කාලාන්තරයක් මුළුල්ලේ කථා කරමින් සිටිනවා. නමුත් ඉතිහාසය පුරාවට අපි දැක තිබෙනවා විවිධ සිදුවීම් විවිධ මනෝභාවයන් විසින් මෙම ජාතිවාදි ගැටුම් ජාතිවාදී ප‍්‍රවණතාවයන් වර්ධනය කරන බව. එය 1958 වෙන්න පුළුවන්. 1978 වෙන්න පුළුවන්. 1981 වෙන්න පුළුවන්. 1983 වෙන්න පුළුවන්. මෑත කාලේ බේරුවල වෙන්න පුළුවන්. තලවා කැලේ වෙන්න පුළුවන්. ජාතිවාදී ගැටුම් ප‍්‍රබලතාවය වර්ධනය වීමේ ස්වභාවයන් අපි දකිමින් සිටිනවා.  ඒ නිසාමත් සමාජවාදී තරුණ සංගමය විසින් ගනුලබන මේ ප‍්‍රයත්නය ජාතික සමගිය ගොඩනගන්නත් ජනතාව අතර විශ්වාසය සැකය දුරුකන්නත් විශාල මෙහෙයක් ඉටුකරන බව අපි විශ්වාස කරනවා.

අප දශක ගණනාවක් මුළුල්ලේ ජාතික සමගිය පිළිබඳ සාකච්ඡා කළා. සිංහල, දෙමළ, මුස්ලිම් ඒකාග‍්‍රතාවය පිළිබඳ සාකච්ඡා කළත් කතා කළත් තවමත් මේ මහපොළොවේ යථාර්ථයක් වී නැහැ. ඒ ඇයි. එය අපි හොඳින් තේරුම් ගත යුතුව තිබෙනවා. එය සිංහල හෝ දෙමළ හො මුස්ලිම් හො මිනිසුන් අතර ප‍්‍රශ්නයක් ද? මුගුර අතට ගන්න තරුණයා අතර ප‍්‍රශ්නයක් ද? වේදිකාවේ ජාතිවාදය ගැන කෑමොර දෙන පුද්ගලයා අතර ප‍්‍රශ්නයක් ද? නැහැ. සැබවින්ම මෙතන පංති ප‍්‍රශ්නයක් තිබෙනවා. දශක ගණනාවක් මේ රට පාලනය කරන්නේ කවුද? ධනපති පංතිය. ඒ කවරක් වෙනුවෙන්ද? ඔවුන්ගේ ආරක්‍ෂාවත්, ඔවුන්ගේ පැවැත්මත්  ඔවුන්ගේ ධනය එක්රැස් කරගැනීමේ අරමුණත් වෙනුවෙන් තමයි මේ පාලනය දියත් වී තිබෙන්නේ. උතුරේ වේවා, දකුණුනේ වේවා, නැගෙනහිර වේවා, බටහිර වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා, දෙමළ වේවා, බර්ගර් වේවා, මැලේ වේවා, අපි කවුරුත් පහළ පන්තිවල මිනිස්සු. අපිව පීඩාවට පත්කරලා තියනවා.

ඒ නිසා අපට ඇත්තට තිබෙන බෙදීම කුමක්ද? ඒ ඔවුන්ගේ පන්තියට  එරෙහිව, පීඩිත පන්තිය පෙළගැසීම තමයි සැබැ බෙදීම. ඒ බෙදීම තිබෙන්නේ තිරස් අතට. උඩ සහ යට ලෙස. ධනපති පන්තිය හා පීඩාවට පත්වුණු ජනකොටස් අතර. හැබැයි ඒ බෙදීම වෙනුට මොකක්ද කරන්නේ. තිරස් බේදීම වෙනුවට සිරස් බෙදීමක් ගෙන එනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස බෙදෙනවා. බෞද්ධ, හින්දු, ක‍්‍රිස්තියානි, ස්ලාම් ලෙස බෙදෙනවා. කුළ ලෙස බෙදෙනවා. පළාත් ලෙස බෙදෙනවා. ඒ සියලූ බේදීම් සිරස් බෙදීම්. සැබෑ බෙදීම කුමක්ද. එය තිරස් බෙදීමක්. හරස් අතට බෙදීමක්. උඩ පංතිය හා යට පංතිය අතර බෙදීමක්. සටන තිබෙන්නේ ඒ බෙදීම අතර. අරගලය තිබෙන්නේ ඒ බෙදීම මත. ගැටුම තිබෙන්නේ ඒ බෙදීම මත. එහෙනම් මොකක්ද කරළා තියෙන්නේ. සැබෑ හරස් බෙදීම වෙනුවට වැරදි සිරස් බෙදීම් ගෙනල්ල තිබෙනවා. එය කුමක් වෙනුවෙන්ද? උඩ පංතියේ පැවැත්ම වෙනුවෙන්. ඒ පංතිය කුමක්ද සිදුකොට තිබෙන්නේ. අප සියලූ ජනකණ්ඩායම් පීඩාවට පත්වී තිබෙනවා. අයුක්තියට ලක්කර තිබෙනවා.

අසාධාරණයට ලක්කොට තිබෙනවා. ඒක සිංහලද මුස්ලිම්ද දෙමළද කියලා බේදයක් නැහැ. අයුක්තියට අසාධාරණයට පීඩාවට පත් වූ අපි අතර ජාතික සමගිය ගොඩනැගිය යුතුව තිබෙනවා. ඒ ඇයි. මේ රටේ මහා ජාතික ධනයක් නිෂ්ෂාදනය වෙනවා. ජාතික ධනය හැදෙන්නේ කොහොමද? එකක් භාණ්ඩ නිෂ්පාදනයෙන් ජාතික ධනය නිෂ්පාදනය වෙනෙවා. අනෙක සේවා නිෂ්පාදනයෙන් ජාතික ධනය හැදෙනවා. මේ ජාතික ධනය හැදෙන්න අපි කවුරුත් දායක වෙනවා. තේ වත්තේ දළු කඩලා ජාතික ධනයට එකතු කරනවා. ගල්වලේ ගල් කඩලා ජාතික ධනයට එකතු කරනවා. මුහුදෙ මාළු අල්ලලා ජාතික ධනයට එකතු කරනවා. කුඹුරේ වගා කරලා ජාතික ධනයට එකතු කරනවා. පාරේ තාර දාලා ජාතික ධනයට එකතු කරනවා. වත්තේ පොල් කඩලා ජාතික ධනයට එකතු කරනවා. කම්හලේ පිහිය හදලා ජාතික ධනයට එකතු කරනවා. ෆැක්ටරියේ ඇදුම් මහලා ජාතික ධනයට රැස් කරනවා. බැංකුවේ වැඩ කරලා ජාතික ධනයේ සේවාව සපයනවා. ත‍්‍රිවිල් එකේ හයර් කරලා ජාතික ධනයේ සේවා පංගුව ඉටුකරනවා.

මුහුදෙ මාළු හිටියට වැඩක් නැ අල්ලන්නේ නැත්නම්. වත්තේ දළු තිබුණට වැඩක් නැ කඩන් නැත්නම්. ගලක් තිබ්බට වැඩක් නෑ කඩන්නැත්නම්. කුඹුරක් තිබ්බට වැඩක් නැ වැඩ කරන්නේ නැත්නම්. වත්තක් තිබ්බට වැඩක් නැහැ පොල් කඩන්නැත්නම්. ෆැක්ටරිය තිබ්බට වැඩක් නැහැ ඇදුම් මහන්නේ නැත්නම්. බැංකුව තිබ්බට වැඩක් නැහැ ණයක් දෙන්නේ නැත්නම්. ත‍්‍රීවිල් එකක් තිබ්බට වැඩක් නැහැ තරුණයෙක් ඒකෙ රැුකියාවක් කරන්නෙ නැත්නම්. කඩයක් තිබ්බට වැඩක් නැහැ මුදලාලි බඩු කිරන්නේ නැත්නම්. එහෙනම් ජාතික ධනය ඇතිවෙන්නේ කොහොමද? අපි වැඩ කළාම.

සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් එකතු වෙලා මේ ජාතික ධනය නිෂ්පාදනය කරනවා. හැබැයි මේක බෙදෙන්නේ කොහොමද? සිංහල ලෙස වෙනම බෙදෙනවද? දෙමළ ලෙස වෙනම බෙදෙනවද? මුස්ලිම් ලෙස වෙනම බෙදෙනවද? නැහැ. බෙදෙන්නේ පංති අනුව. කොහොමද බෙදෙන්නේ. උඩම ඉන්න 10%ට ජාතික ධනයෙන් 37.4%ක් බෙදෙනවා. පහළ ඉන්න 10%ට හම්බවෙන්නේ ජාතික ධනයෙන් 1.1%යි. අපි ඔක්කොම එකතු වෙලා ලොකු පාංගෙඩියක් හදනවා. ඒ පාන්ගෙඩිය පෙති 100කට කපනවා. උඩම ඉන්න 10 දෙනා පාන්ගෙඩියෙන් පෙති 37ක් ගන්නවා. යට ඉන්න 10 දෙනාට හම්බවෙන්නේ පාංගෙඩියෙන් එක පෙත්තයි. ඒක සාධාරණද? ඒක අතිශය ආසාධාරණ ආර්ථික ප‍්‍රතිපත්තියක්. එය වෙනස් කළ යුතුද නැද්ද? ඇයි මේ අය ඒක වෙනස් නොකරන්නේ. මේ රට පාලනය කරන්නේ උඩ ඉන්න 10%ය.

මේ අවුරුදු 68ට ම පාලනය කළේ කව්ද? මේ රටේ අවුරුදු 14ක් පාලනය කළේ බෝතලේ වලව්ව. 68න් අවුරුදු 27ක් රට පාලනය කරලා තියනවා හොරගොල්ල වලව්ව. 68න් 14ක් පාලනය කරලා තියනවා රනිල්-ජේආර් කොල්ලූපිටිය වලව්ව. මේ අවුරුදු 68න් අවුරුදු 10ක් පාලනය කරලා තියනවා මැද මූලන වලව්ව. මේ අවුරුදු 68 න් හැටහතරහාමාරක්ම රට පාලනය කර තිබෙන්නේ වලව් හතරයි. ඒ අය කවුද? 10% යේ පංතියට අයිති අය. ඒ අය රට පාලනය කරන්නේ මොකක් වෙනුවෙන්ද? 10%යේ පැවැත්ම වෙනුවෙන්. ඒ ගොල්ලන්ගේ නීතිය මොකක්ද? 10%යේ නීතිය. ඒගොල්ලන්ගේ අධිකරණය මොකක්ද? 10%ය වෙනුවෙන් හදපු අධිකරණය. ඒගොල්ලන්ගේ පොලීසිය මොකක්ද? 10% වෙනුවෙන් හදපු පොලීසිය. ඒගොල්ලන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය කුමක්ද? 10%ය වෙනුවෙන් හදපු ආර්ථික ප‍්‍රතිපත්තිය.  ඒ ගොල්ලන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය මොකක්ද? 10%ය වෙනුවෙන් හදපු අධ්‍යාපන ප‍්‍රතිපත්තිය. ඒ ගොල්ලන්ගේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය මොකක්ද? 10% ය වෙනුවෙන් හදපු සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය. එහෙනම් මොකක්ද අපට තිබෙන අරගලය. 10% පන්තිය අතින් 90% පන්තිය වෙත නැත්නම් ධනේෂ්වර පංතිය අතින් පීඩාවට පත් වූ පන්තිය අතට බලය අත්පත් කරගැනීම තමයි අපේ කාර්යභාරය.

මේක සිංහල ආණ්ඩුවක්ද මේක දෙමළ ආණ්ඩුවක්ද? මේක මුස්ලිම් ආණ්ඩුවක්ද ? නෑ මේක 10% යේ ආණ්ඩුවක්. 10%යේ උවමනාව වෙනුවෙන් හදපු ආණ්ඩුවක්. ඒ 10% ඇතුලේ දෙමළ ප‍්‍රභූවරුන් ඉන්නවා. මුස්ලිම් ප‍්‍රභූවරුන් ඉන්නවා. සිංහල ප‍්‍රභූවරුන් ඉන්නවා. එහෙනම් බලය මාරුකරගත යුත්තේ කොතෙන්ටද? 10%යේ පංතියෙන්. බහුතරයක් වන 90% වෙත. බලය මාරු කරගත යුතුයි. එහෙනම් ඇත්ත ගැටුම මොකක්ද? උඩ පන්තිය හා යට පන්තිය අතර. සිංහල, හා දෙමළ අතරද සිංහල හෝ මුස්ලිම් අතර ද මුස්ලිම් හො දෙමළ අතරද නැහැ . ඒක ඒ ගොල්ලෝ අපට පටවපු ගැටුම. ඒ ගොල්ලෝ අපට තෝරාගන්න බලකරපු ගැටුම. ඒක ඒ ගොල්ලෝ අවුලවපු ගැටුම. ඒ ගැටුම ඇවිලූවේ ඒ පංතිය. ඒ පංතිය කවදාවත් ජාතික සමගිය ගොඩනගන්න බැහැ. පහළ සමගිය ඔවුන්ට මාරාන්තික විස ගෙනල්ලා දෙනවා. ඒ නිසා ඔවුන්ට පහළ පන්තිය විවිධ ආකාරයෙන් බෙදන්න  ඕන. සිංහල ලෙස බෙදන්න  ඕන. මුස්ලිම් ලෙස බෙදන්න  ඕන. දෙමල ලෙස බෙදන්න  ඕන. ආගම් ලෙස බෙදන්න  ඕන. කුල ලෙස බෙදන්න  ඕන. උතුරේ තිබෙන ලොකුම බේදීම මොකක්දෑ කුල ලෙස බෙදීම. පීඩාවට පත් වූ කුලයන් නැද්ද? අයුක්තියට පත් වූ කුලයන් නැද්ද? ඒ බෙදීම වැරදි බෙදීමක්. ඒ බෙදීම උඩ පන්තියේ උවමනාව වෙනුවෙන් හදපු බෙදීමක්. ඒ ගොල්ලො කවදාවත් මේක සමගි කරන්නේ නැහැ. බලය වෙනුවෙන් බෙදනවා. හදාගත්ත බලයේ ආරක්‍ෂාව වෙනුවෙන් බෙදනවා.

56 බණ්ඩාරනායක මහත්මයා භාෂා ප‍්‍රශ්නයක් ඇති කරන්නේ මොකක් වෙනුවෙන්ද? බලය වෙනුවෙන්. 83 ජේආර් කළු ජූලිය ඇති කරන්නනේ මොකක් වෙනුවෙන්ද? බලයේ ආරක්‍ෂාව වෙනුවෙන්.  81 සංවර්ධන සභා ඡුන්දයේදී යාපනයේ පුස්තකාලය ගිනි තියන්නේ මොකක් වෙනුවෙන්ද? එජාපය යාපන සංවර්ධන සභා ජයග‍්‍රහණය වෙනුවෙන්. එහෙනම් ඉතිහාසය ඔප්පු කරන්නේ මොකක්ද? බලය වෙනුවෙන් ඔවුන් ජාතිවාදය වපුරනවා. බලයේ ආරක්‍ෂාව වෙනුවෙන් ජාතිවාදි ගැටුම් ඇති කරනවා. අද පරාජයට පත් වූ කණ්ඩායම, රාජපක්‍ෂ කල්ලියේ යලි බලය ගැනීමේ ඒකායන බලාපොරොත්තුව වී තිබෙනවා. වෙන කුමක්ද? ජාතික සමගියද? ජනතාවගේ සම අයිතියද? ඒ කිසිවක් නොවේ ජාතිවාදය. ඔවුන් බලා සිටිනවා. උතුරේ බෝම්බයක් පුපුරන තෙක්. හමුදා සෙබලකුට ගලක් ගසන තෙක්. දකුණෙන් එන බසයට හූ කියන තෙක්. මොකක් වෙනුවෙන්ද බලය වෙනුවෙන්. ඉතිහාසය වගේම වර්තමානයේත් ෙමි පාලක පන්තිය පාලන බලය හොබවපු නිසාය. ජාතිවාදය වපුරා තිබෙනවා. තමන්ගෙන් බලය වෙනුවෙන්. බලයේ ආරෂාව වෙනුවෙන්. ජාතික සමඟිය ගොඩනැගිය යුත්තේ කවුරු විසින්ද? පිඩාවට පත් වු පංතිය විසින්. ඒ නිසා ජාතික සමගිය ගොඩනැගීමේ කාර්ය භාරය අද පහළ පන්තියේ අපි වෙත පවරා තිබෙනවා. ඉහළ පන්තියේ කාර්යභාරය වී තිබෙන්නේ ජාතික අසමගිය ඇති කිරීමයි. අපේ කාර්යභාරය වි තිබෙන්නේ ජාතික සමඟිය ඇති කිරීමයි. ඒ නිසා අපි සමාජවාදී තරුණ සංගමය විදිහටත් ජනතා විමුක්ති පෙරමුණ විදිහටත් මැදිහත් වෙනවා. මෙ මොහොතේ අපිත් එක්ක එකතු වෙමින් සිටින සාහිත්‍යධරයින්, යාපනයේ ශිෂ්‍ය සංගම්වල නායකයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපි හැමදෙනාට ම පැවරී තිබෙන කාර්යභාරය වන්නේ සියලූ ජාතිවාදයන්ට එරෙහිව ජාතික සමගිය ගොඩනැගීමයි. ඒ කාර්යභාරය ජයග‍්‍රණය ඉටු කරගැනීම වෙනුවෙන්  අපි වැඩකරනවා. අපි සියලූ දෙනාට මේ සමගිය ගොඩනැගීමේන් තොරව ඉදිරියට යා නොහැකි බව විශ්වාස කරනවා.

ඒ නිසා අපේ දේශපාලනයේදී ප‍්‍රමුඛතම කාර්යභාරය බවට පත්වෙලා තියෙන්නේ ජාතිවාදය පැරදවීමත් පාලක පංතියේ ජාතිවාදී උවමනාව පැරදවීමත් ඒ වෙනුවෙන් ජාතික සමගිය ගොඩනැගීමත් පීඩාවට පත්වූ පංතිය සමගි කිරීමත්ය. ඒ කාර්යභාරයට අපි උරදෙනවා. අපි කිසිසේත් විශ්වාස කරන්නෑ ජාතික සමගිිය වේදිකාවෙන් පමණක් සිදුකරන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් කළ යුතු කාර්යභාරයන් අති විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. අධ්‍යාපනයේ, සාහිත්‍යයේ, ආර්ථිකයේ, සමාජ මනෝභාවයේ විවිධ බෙදීම්වලට ලක්කරලා තියන සමාජයත් පාලක පන්තියේ මහ බලය විසින් පොම්ප කරන මහ අසමගිය වෙනුවට ජාතික සමගිය ගොඩනැගීමත් සරල කූඩා පහසු කාර්යභාරයක් ලෙස අපි සලකන්නේ නැහැ. එය පංති අරගලයක් එක්ක එකට බැඳුනු පංතියට බලය අත්පත් කරගැනීමයි. පංතියට බලය අත්පත් කරගැනීමත් පන්තිය සමගි කිරීමත් සියලූ ජනකොට්ටාශයන්ගේ අයිතීන් පිළිගැනීමත් එකට ගැටගැසී ඇති අරගලයක් මේක. ජාතික සමගිය වෙනමත්, ආර්ථික අරගලය වෙනමත් සාහිත්‍ය ඒකාග‍්‍රතාවය වෙනමත් සමාජයේ බැදීම වෙනමත් පවතින්නේ නැහැ. ඒ සියල්ල පවතින්නේ පන්තියේ සමගියත් පන්තියට බලය අත්පත් කරගැනීමෙනුත් පමණයි. ඒ නිසා ජාතික සමගිය, පංතියට බලය අත්පත් කරගැනීම සඳහා වූ විශාලතම බැදීම බවට පත් කර ගතයුතුව තිබෙනවා. ඒ නිසා අපේ අරගලයේ, අපේ සටනේ ප‍්‍රමුඛතම කාර්යභාරය ජාතිවාදයට එරෙහි වීමත් සියලූ පීඩිත ජනයා සමගි කිරීමත් ඒ සමගිය වෙනුවෙන් උරදෙන්නත් එය ජයග‍්‍රහණය කරා ගෙනයන්නත් අපි කව්රුත් ඒකරාශි විය යුතුව තිබෙනවා.

ඒ මොකද ඉහළ පන්තියෙන් පහළ පන්තිය අතට බලය ලබා ගත යුතුව තිබෙනවා. එසේ අත්පත් කරගැනීමකින් තොරව ආර්ථිකයේ සමානතාවය හො නීතියේ සමානතාවය හෝ යුක්තියේ සමානාත්මතාවය හෝ  ජාතියේ සමානාත්මතාවය හෝ ගොඩනැගිය හැකියි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපේ අරගලයේ සියලූ කරුණු සමානාත්මතාවයත් එක්ක ගැටගැසී තියෙනවා. ඒ වෙනුවෙන් විශාල බලයක් ගොඩනැගිය යුතු වෙනවා. ඒ බලය වෙනුවෙන් පංතිය අතට බලය අත්පත්කර ගත යුතුවෙනවා. ඒ සඳහා ලොකු කාර්යභාරයක් අපට තිබෙනවා. අපේ පන්තියේ මිනිසුන්ම ඉහළ පන්තිවලට ඇදි යනවා. ඒ ධනයෙන් හෝ බලයෙන් හෝ නොවේ සිතුවිලිවලින්. ඔවුන්ට ඒ පංතියට පොලාපයින්න බෑ. ඔවුන් අපිව පීඩාවට පත්කරලා තියෙනවා. ඒ නිසා බලය අත්පත් කරගැනීමේ සටනක් තියනවා. අද අපි යාපනයේදී සහෝදරත්වය දිනය සමරලා උතුරේ ජනතාවට ගෙන යන පණිවිඩය තමයි අපට තිබෙන්නේ. ඒක එක්සත් අරගලයක්. අපට තියෙන්නේ වෙන්වීම සඳහා අරගලයක් නොවේ. අපට තියෙන්නේ, සැකය, අවිශ්වාසය, ක්‍රෝධය, වෛරය සඳහා අරගලයක් නොවෙයි. අපට තිබෙන්නේ සමගිය සඳහා අරගලයක්. අපි උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබට වෙන්්වීම සඳහා අරගලයක් නැහැ. ඔබට වෙන්වීම සඳහා අරගලයක් නැහැ. ඔබටත් අපටත් පැවරී තිබෙන්නේ එකතුවීම සඳහා අරගලයක්. සමගිය සඳහා අරගලයක්.

යුද්ද හේතුකොට ගෙන විශාලතම පීඩාවට පත් වී ඉන්න උතුරේ ජනයා අතරේ පමණක් වැන්දඹුන් 45000ක් ඉන්නවා. අම්මා තාත්තා දෙදෙනාම අහිමි වූ දරුවන් 2500ක් ඉන්නවා. දේපළ අහිමි වී තිබෙනවා. ජීවිතය පිළිබඳ අපේක්‍ෂාභංගත්වයක් ඇති කරලා තියෙනවා. අනාගතය පිළිබඳ අපේක්‍ෂාවන් බිඳවට්ටලා තියෙනවා. අම්මලා විසින් පුතාගේ ඡුායාරූපය අරගෙන පුතා කෝ කියලා යාපනයේ මංසන්දියේ කෑමොර දෙනවා. හරියට ඉන්න තැනක් නැතිව නිවාසයක් යැයි කිව නොහැකි තාවකාලික නැවතුම් පොලවල්වල ලැගුම්ගෙන ඉන්නවා. ආදායම් මාර්ගයක් ඔවුන්ට නැහැ. අධ්‍යාපනයක් ඔවුන්ගේ දරුවන්ට නැහැ. රැුකියාවක් ඔවුන්ගේ දරුවන්ට නැහැ. ඉන්න තැනක් ඔවුන්ට නැහැ. හොඳ සෞඛ්‍ය සේවයක් ඔවුන්ට නැහැ. අනේකවිධ පීඩාවන්ටත් යුද්ධයේ විෂකුරු ඵලවලට ගොඳුරු වූ මහා ජනතාවක් මේ උතුරු පළාතේ ජීවත් වෙනවා.

ඔවුන්ට තිබෙන අරගලය මොකක්ද? එක්සත් වීමේ අරගලයක් නොවෙයිද? මේ පීඩාවට එරෙහි අරගලයක් නොවෙයිද? ඒ නිසා උතුරෙ වේවා. දකුණේ වේවා. රටේ කවර පළාතක වේවා අපි සියලූ දෙනාට පැවරී තිබෙන්නේ මේ පීඩාවට එරෙහි අරගලයක්. ඒ පිඩාවෙන් වැඩියෙන්ම බැටකා තිබෙන්නේ, ඒ ව්‍යසනයට වැඩියෙන් ගොදුරු වී තිබෙන්නේ, ඒ ව්‍යසනයෙන් ජීවිත අහිමිවී තියෙන්නේ විශාල ලෙස උතුරේ ජනතාවට නම් ඒ අරගලයේ සක‍්‍රීය පංගුකරුවන් ඒ අරගලයේ සජීවී පංගු කරුවන් ඒ අරගලයේ පෙරමුණු බල ඇණියේ වගකීම මේ උතුරේ ජනතාවට පැවරී තිබෙනවා. ඒ නිසා අපි ඔවුන්ට ආරාධනා කරනවා. වෙන්වීමේ අරගලයේ වෙනුවට, සැකය, ක්‍රෝධය, වෛරය වෙනුවට සමගිය සහ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ ඉදිරියට එන්න  ඕනකම තිබෙනවා. ඒක මේහොතේ අත්නොහැරිය යුතු වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා උතුරෙ තරුණ පරම්පරාවට, වැඩිහිටි පරම්පරාවට උතුරේ බුද්ධිමතුන්ට ව්‍යාපාරික ප‍්‍රජාවන්ට සාහිත්‍යධරයන්ට අපි ආරාධනා කරනවා. අපි එකතුවිය යුතු නිමේෂය වේගයන් ලගාවෙමින් තිබෙනවා. මෙය පමා කරන තාක්කල් අපේ ක‍්‍රීඩාව තවතවත් ත‍්‍රීව‍්‍ර කරනවා හැරුනු කොට සමනය වෙන්නේ නැහැ. ඒ නිසා මෙය කිසිසේත්ම පමා කළයුතු කටයුත්තක් නොවේ. අපි විශ්වාස කරනවා දැනටමත් ප‍්‍රමාදයි කියලා. ඒ නිසා අපිට වේගයෙන් පියමන් කරන්න බලකරනවා. වේගයෙන් එකතු වෙන්න බලකරනවා. වේගයෙන් සටන් කරන්න බලකරනවා. ඒ වෙනුවෙන් සියලූදෙනාට එකතු වෙන්න, සමගි වෙන්න, අත්වැල් බැදගන්න යාපනයේ ජනතා විමුක්ති පෙරමුණෙ නායකයින් ජනතා විමුක්ති පෙරමුණෙ ක‍්‍රියාධරයින් බිහිවිය යුතුව තිබෙනවා. බිහිකළ යුතුව තිබෙනවා. එම කාර්යයේ ප‍්‍රමුඛතම කොටසක් උතුරේ ඔබ විසින් පවරා ගනු ඇතැයිි අප විශ්වාස කරනවා. ඒ සඳහා සියලූ දෙනාට ආරාධනා කරමින් සහෝදරත්වයේ දිනය, ජාතික සමගිය වෙනුවෙන් මේ දරණ ප‍්‍රයත්නය. පංතියේ සමගිය වෙනුවෙන් මේ දරන ප‍්‍රයත්නය, ජයග‍්‍රහායි ලෙස ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. ධෛර්ය ලැබේවා කියලා පාර්ථනා කරනවා. ”

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා,

”ඔබ දන්නව 83 කළු ජූලිය කියන්නෙ අපේ රටට ජාතිකවත් ජාත්‍යන්තරවත් ඉතා තද කළු පැල්ලමක් ඇති කරපු දවසක් හරියටම ගත්තොත් අද දවස කියල කියන්නෙ කළු ජූලිය සිද්දවෙලා  වසර 33  අවසන්වෙලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි අපි රටක් විධියට ගත්තොත් 30 අවුරුදු යුද්ධයක පැටලිච්ච මිනිස්සු අපි ඒ වගේම යුද්ධය අවසන් කරල අවුරුදු 7ට වඩා වැඩි කාලයක් දැන් මේ පසුකරමින් යන කාලයක තමයි අපි කවුරුත් මේ ඉන්නෙ. හැබැයි අපිට බැරි වෙලා තියනව ලංකාව ඇතුලේ රටක් විධියටත් ජාතියක් විධියටත් සිංහල, දෙමල, මුස්ලිම් සහෝදරත්වය ගොඩනගන්න. අපි දන්නව 30 අවුරුදු යුද්ධය ඇතුලේ අනන්ත අප‍්‍රමාණ ජීවිත ප‍්‍රමාණයක් අපට නැතිවුණා.  අනන්ත අප‍්‍රමාණ දේපල ප‍්‍රමාණයක් අපට නැතිවුණා. ඒවායේ වටිනාකම වචනයෙන් කියල නිම කරන්න බෑ. හැබැයි අපි හිතනව ඊටත් වඩා දෙයක් අපිට වෙලා තියනව. මේ තිස් අවුරුදු යුද්ධය ඇතුලේ සිංහල, දෙමල, මුස්ලිම් අපි කාගේත් ඔළුවලට සිත් ඇතුලට කරපු බලපෑම ඊට වඩා වැඩි කියල අපිට හිතෙන්නෙ මොකද 83 කළු ජූලියත් එක්ක ජීවත් වුනු දැනට ඉන්න සිංහල දෙමල මුස්ලිම් තරුණ තරුණියො ගත්තොත් අද ඒගොල්ලො අවු 33 තරුණ තරුණියො බවට පත්වෙලා තියනව. ඒ කියන්නෙ ඒ ගොල්ලො අවු 33ක්  සිංහල ජාතිවාදයත් දෙමල ජාතිවාදයත් මුස්ලිම් ජාතිවාදයත් එක්ක තමයි  ජීවත්වෙලා තියෙන්නෙ. ඒක නිසා තමයි මේ ජාතිවාදය ගින්නක් සේ පටන්ගන්න හදන්නෙ අපි හිතන්නෙ නැති වෙලාවක.  මේ රටේ පාලකයෝ ඒවගේම පටු දේශපාලන අරමුණෙන් වැඩ කරන සිංහල, දෙමල, මුස්ලිම් නායකයොත් මේක ඉතාම වේගයෙන් පාවිච්චිකරන්න පටන්ගෙන තියෙන්නෙ. සමාජවාදී තරුණ සංගමය විදියට අපි ඒක හොදින් තේරුම් අරන් තියනව.

ඒක නිසා තමයි 2008 යුද්ධය තියෙන වෙලාවෙත් සමාජවාදී තරුණ සංගමය තීරණය කලේ. ජාතික සමගිය නැතිව අපිට රටක් විධියට අඩියක් වත් ඉස්සරහට යන්න බෑ කියලඬ ඒක කල්පනා කරල 2008 ඉදන් සහෝදරත්වයේ දිනය ලෙස නම් කරල එතනින් එහාට  ක‍්‍රියාමාර්ග ප‍්‍රමාණයක් තෝරල දිගටම පවත්වාගෙන ආවෙ. ඔබ දන්නව පරාජ වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තය එයාගෙ දේශපාලන අරමුණක් වෙනුවෙන් පහුගිය කාලෙ මුස්ලිම්, සිංහල ගැටුමක් ආරම්භ කරන්න පටන්ගත්තා. අපි සමාජවාදී තරුණ සංගමය විධියට ඒක තදින් විශ්වාස කරපු නිසා තමයි කවුරුත් බයේ පැත්තකට වෙලා ඉද්දි අපි ඒකට නොබියව මුහුණ දීලා සමාජවාදී තරුණ සංගමයත් ඒවගේම ප‍්‍රගතිශීලි තරුණ තරුණියන් සහ සංවිධාන සියල්ල  එකතු කරගෙන අපිට පුළුවන් වුනේ ඒ සිංහල, මුස්ලිම් ජාතිවාදය පරාජය කරළා ඒ වෙනුවෙන් මැදිහත්වෙන්න සහ ඒකට පොකුරක් කරන්න අපිට හැකිවුනා. ඒ නිසා අපි නිහතමානීව ආඩම්බර වෙනව අපේ වගකීම ඉෂ්ඨකරා කියල. ඒ විතරක් නෙමෙයි මේ වෙනවිට සමාජයේ කතාවෙන යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම අපි සමාජවාදී තරුණ සංගමය විධියට ඉතා ප‍්‍රසිද්ධියේ කියනව, අපි ඒක තරයේ ප‍්‍රතික්ෂේප කරනව.

එය සිදුනොවිය යුත්තක්. හැබැයි අපි දන්නව ඒ සිදුවීම පාවිච්චි කරල නැවත්ත රට ඇතුලෙ මේක ජාතිවාදී කෝලාහලයක් බවට පත්කර ගන්න ඉතාම සුළු දෙමල සහ සිංහල ජාතිවාදය වෙනුවෙන් වැඩකරන කූඩැල්ලො පිරිසක් කටයුතු කරමින් ඉන්න බව. එම නිසා තමයි ඒ මොහොතෙම අපි දකුණේ විවිධ බලවේග එකතුකරල අපි එක හඩින් ප‍්‍රකාශ කලේ ඒකට අපි විරුද්ධයි හැබැයි  ජාතිවාදයට ඉඩදෙන්නෙ නෑ කියල. ඒ විතරක් නෙමෙයි අද උතුරෙත් අපි සූදානම් වෙන්නෙ යාපනය විශ්වවිද්‍යාලයේ ඒ ගැටුමට මැදිහත්වුනු සහ ඉන් පීඩාවට පත්වෙච්ච දෙමල, මුස්ලිම් සහ සිංහල ශිෂ්‍ය නායකයො එකම වේදිකාවට ගෙනල්ල එනම් මේ වේදිකාවට ගෙනල්ල ප‍්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනව. අපි ජාතිවාදයට සූදානම් නෑ  අපි සූදානම් සිංහල, දෙමල, මුස්ලිම් අපි හැමෝම එකට එකතුවෙලා ඉන්න කියල. අපි හිතනව අපේ වගකීම ඒක කියල අපි ඒ වගකීම ඉශ්ඨ කළ යුතුයි. ඔබ  දන්නව  යුද්ධයෙන් පස්සෙ යාපනයේ මේවගේ සාහිත්‍ය උලෙලක් සංවිධාන කරන්න කිසි කෙනෙක් සූදානම් වුනේ නෑ.

නමුත් අපි සමාජවාදී තරුණ සංගමය විධියට අභියෝග රාශියක් මැද්දෙ අපි මේ සාහත්‍ය උළෙල සංවිධානය කරන්න සූදානම් උණා. අපිට කියන්න සතුටුයි ඔබ මෙතෙනට එද්දි දකින්න ඇති. මේ පවුරු ඇතුලේ ඔවුන්ගේ හදවතේ තියෙන හෘද සාක්ෂියේ තියෙන චිත‍්‍රය නෙමෙයිද? මේවගෙ ජාතිවාදය තියෙනවද? ඔවුන්ගේ පෑන්වලින් පැන්සල්වලින් අකුරු බවට චිත‍්‍ර බවට කවි බවට පත්වෙලා තියෙන්නෙ ජාතික සමගිය. ඒක නොවේද  ඕන ඒ නිසා අපි ඉතාම සතුටුවෙනව යුද්ධයෙන් පස්සෙ සමාජවාදී තරුණ සංගමයත් ඒ වගේම මෙතන ඉන්න ප‍්‍රගතිශීලි ශිෂ්‍යයොත් සියලූ දෙනාගේම උදව් ඇතිව ඉතාම සාර්ථක සාහත්‍ය උළෙලක් යාපනයෙ පවත්වන්න ලැබීම. සමාජවාදී තරුණ සංගමය විධියට අපි හිතනව, අපි ලබපු ලොකු ජයග‍්‍රහණයක් කියල. ඒ වගේම අපි හිතනව ජාතික සමගිය වෙනුවෙන් ලබපු ලොකු ජයග‍්‍රහනයක් කියල. ඒ විතරක් නෙමෙයි අපි දන්නව සමාජවාදී තරුණ සංගමය විධියට මේ සහෝදරත්වයේ දිනය තවත් එක් දිනයක් බවට පමණක් පත් නොකර අපි සූදානම් වෙනව මේ මාසෙ 21 සිට 28 දක්වා සහොදරත්වයේ සතියක් ප‍්‍රකාශයට පත් කරළා වැඩ සටහන් කරන්න. මොකද අපිට  ඕන කරල තියනව මේ කළුපාට ජූලිය  සහෝදරත්වයේ දිනය බවට පත්කරන්න. අපි ඒකට වැඩකරනව. අපේ අරමුණ ඒක. එම නිසා අපි රට පුරා පොස්ටර් ව්‍යාපාර, පත‍්‍රිකා බෙදාහැරීම වැනි දේ මගින් රටේ ජනතාවට ජාතික සමගිය  ගොඩනැගීමේ ක‍්‍රියාවලියට ක‍්‍රියාමාර්ග තෝරමින් යන්නෙ. ඒ ක‍්‍රියාවලියෙ එක දිනයක් ලෙස තමයි අද දවසෙ යාපනය ප‍්‍රදේශයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයො, තරුණ බලවේග සහ කලා කරුවො සියල්ල එකතුකර ගත්ත සාහිත්‍ය උලෙලකට වැඩ සූදානම් කලේ.ඒ විතරක් නෙමෙයි හෙටින් පටන්ගන්න  24, 25,  26 කියන දවස් වල අපි සූදානම් වෙනව සමාජවාදී තරුණ සංගමයේ සාමාජික සහෝදර සහෝදරියන් අරගෙන යාපනයෙත් කිලිනොච්චියෙත් ගම්මාන ඇතුලට ගිහිල්ල දවස් 3ක් ඔවුන් සමග ජීවත් වෙන්න. අපි විශ්වාස කරන්නෑ දවස් 3 න් ජාතික සමගිය ගොඩනැගේ කියල. ඒත් අපේ ආරම්භය දෙන්න අපි සූදානම්. ඔවුන් එක්ක ඒ සංස්කෘතික වෙනස්වීම අපි ඉගෙන ගන්න  ඕන.

අපි විශ්වාස කරන ඒ බැදීම හදාගන්න  ඕන. ඒ නිසා අපි ආරාධනා කරනව ඔබටත් ඒ අත්වැල සමග ඔබ එකතු වෙන්න. අපි සූදානමින් ඉන්නෙ ඒක කරන්න. උතුරෙ විතරක් නෙමෙයි අපි සූදානම් වෙනව 28 වෙනිදා විශේෂයෙන් දකුණේ ඉන්න අය කලා කරුවො සහ විවිධ බලවේග එකතු කරල  කොළඹ කේන්ද‍්‍ර කරගෙන සහෝදරත්වයේ සිත්තම් උලෙලක් කරල  එක හඩින් සමාජයට මතයක් දෙන්න සූදානම් වෙනව. අපි ජාතිවාදයට සූදානම් නෑ අපි ඉන්නෙ අපේ හෘද සාක්ෂිය තියෙන්නෙ ජාතික සමගිය කියල. අපේ බලාපොරොත්තුව ඒක. ඒ විතරක් නෙමෙයි  සමාජවාදී තරුණ සංගමය විධියට අපි හිතනව අපි අතර කුමන වෙනස්කම් තිබුනත් ඒක දේශපාලන වෙන්න පුළුවන් මතවාදී වෙන්න පුළුවන් නමුත් ඒ සියල්ල පැත්තකට දාලා අපි දැවැන්ත පවුරක් හදනව ජතික සමගිය වෙනුවෙන්. අපි ආරාධනා කරනව ඒ පවුර සැදීම වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ඒ වෙනුවෙන් දෙන්න. ඒ විතරක් නෙමෙයි අපි ඉල්ලනව තරුණ තරුණියන්ගෙන් ඔබ ඔබේ හෘද සාක්ෂිය ඇතුලෙ තියන යටින්ම තියෙන ජාතිවාදය එලියට එන්න දෙන්න එපා. ඒ සතා ඒ ඇතුලෙම මරාදාන්න  ඕන. ඒක නිසා ඔබේ තරුණකම පාවිච්චි කරන්න ජාතික සමගිය වෙනුවෙන්. ඒ සදහා ඔබ එක්වෙන් කියල අපි ආරාධනා කරනව. ඒ වගේම අපි කියනව  උතුරෙත් දකුණෙත් ඉන්න ප‍්‍රගතිශීලි තරුණ තරුණියන්ට විද්වතුන්ට  ඔබ නිහඩව ඉන්න එපා, ජාතිවාදය පැරදවීමට ඔබේ පැත්තෙන් දෙන්න පුළුවන් ගැඹුරුම හඩ අවධිකරන්න. ඒ අවධිකිරීම තුලින් අපට පුළුවන් ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් මැදිහත් වෙන්න. අවසාන වශයෙන් සමාජවාදී තරැුණ සංගමය විධියට  ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් සහෝදරත්වයේ පවුර ගොඩනැගීම උදෙසා ඔබේ හඩත් ඔබේ මතයත් ඔබේ ක‍්‍රියාවත් යොදවන්න. අපට දෙන්න පුළුවන් උපරිම සහාය දෙන්න.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles