Sunday, May 5, 2024

රවිරාජ් ඝාතන නඩුව ජූරි සභාවක් හමුවේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන්වරයා වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව උපාධිධාරීන් හත් දෙනෙකුගෙන් සමන්විත විශේෂ ජූරි සභාවක් හමුවේ විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ (27) තීරණය කළේය.

නඩු විභාගය සඳහා සුදුසුකම් සපිරි ජූරි සභිකයන් නම් කිරීම විනිසුරුවරයා විසින් ලබන 31 වැනිදාට කල් තැබීය.

මේ නඩුව ජූරි සභාවක් හමුවේ විභාගයට ගන්නා ලෙස පැමිණිල්ලෙන් හා විත්තියෙන් කළ ඉල්ලීම සම්බන්ධව අගතියට පත් පාර්ශ්වය විරුද්ධත්වය දක්වා තිබිණි.

ඒ අනුව ඉදිරිපත් කර තිබූ කරුණු සලකා බලා නඩුව ජූරි සභාවක් හමුවේ විභාගයට ගන්නවාද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීම විනිසුරුවරයා විසින් ඊයේ (27)ට කල් තබා තිබිණි.

නඩුව ඊයේ (27) කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියේ සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සඳහා ජූරි සභාවක් හමුවේ නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කළ බවයි.

ඒ අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසුරිය මහතා පවසා සිටියේ මෙම ඝාතන සිද්ධිය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූ සිද්ධියක් බැවින් ද එය ජාත්‍යන්තර වශයෙන් ලංකාවට කළු පැල්ලමක් ඇති කළ සිද්ධියක් වන බැවින් ද මෙම නඩුව විශේෂ ජූරි සභාවක් හමුවේ විභාගයට ගන්නා ලෙසටයි. ඒ සඳහා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ද සිය එකඟතාව ඵල කිරීමෙන් පසුව උපාධිධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ ජූරි සභිකයන් 07 දෙනෙක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනීමට විනිසුරුවරයා ඊයේ (27) තීරණය කළේය.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව අධිචෝදනා නඟා තිබුණ ද දැනට නඩු කටයුතු සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ විත්තිකරුවන් තිදෙනෙකු පමණි.

ඉන් විත්තිකරුවන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බව හා එක් විත්තිකරුවෙක් මිය ගොස් ඇති බව සලකමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 241 වගන්තිය ප්‍රකාරව එම විත්තිකරුවන් නැතිව නඩුව ඉදිරියට විභාගයට ගැනෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා නඟා ඇති බැවින් එම පනත අනුව අධිකරණය හමුවේ පෙනී සිටින විත්තිකරුවන් තිදෙනා නඩු කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නාවික හමුදා නිලධාරීන් වන ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී කුමාර හා ප්‍රදීප් චාමින්ද යන එම විත්තිකරුවන් බන්ධනාගාරය මඟින් ඊයේ (27) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles