Friday, May 17, 2024

රවි බදුගත් සුපිරි නිවසට මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස්‌ -මොනාක්‌ රෙසිඩන්සීස්‌ නිවාස ඒකකයේ හිමිකාරිය බැඳුම්කර කොමිසමට කියයි

හිටපු මුදල් ඇමැති සහ වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාගේ නිවස අලුත්වැඩියා කරන තෙක්‌ තමාට අයත් මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකය (apartment) බද්දට දුන් අතර ඒ සඳහා බදු මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා විසින් ඔහුට සම්බන්ධ සමාගමක්‌ හරහා බවද ඉන් මාස අටකට පමණ පසු එම නිවස රවි කරුණානායක මහතා විසින් රු. මිලියන 165 කට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධ්‍යක්‍ෂ ධුර දරන සමාගමක්‌ හරහා මිලදී ගත් බවද එම නිවාස ඒකකයේ හිමිකාරිය වූ එම්. විනෝදනී මහත්මිය ඊයේ (24 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය.

එය මිලට ගත්තේ ග්ලෝබල් ස්‌ටාර් ලොජිස්‌ටික්‌ස්‌ පුද්ගලික සමාගම මගින් බවද ඇය කීවාය.

එය මිලට ගැනීමට පෙර මුලින් බද්දට සිටියදී ඒ සඳහා සියලු ගනුදෙනු වාචිකව කතා කළේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ බවද ඒ සඳහා තමාට ඇලෝෂියස්‌ මහතා මුදලින් රුපියල් මිලියන 1.4 ක්‌ සහ චෙක්‌පතකින් තවත් මිලියන 10.2 ක්‌ වශයෙන් රු. මිලියන 11.6 ක මුදලක්‌ ලබාදුන් බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවාය.

මේ මිලියන 11.6 ට මාස දෙකක නැවත ගෙවන තැන්පතුවක්‌ද ඇතුළත්ව තිබූ බව ඇය කීවාය.

තමා බද්දට ගත්තත් මෙහි රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටින බව ඇලෝෂියස්‌ මහතා තමාට වාචිකව ප්‍රකාශ කළ බවද ඇය කීවාය.

මෙයට අදාළ බදු ගිවිසුම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් ඊයේ කොමිසමට ඉදිරිපත් කරන ලදී.

අදාළ බදු ගිවිසුම අත්සන් කරන ලද්දේ තමා සහ වෝල්ට්‌ ඇන්ඩ් රෝ පුද්ගලික සමාගම සමඟ බවද විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.

මෙය කොළඹ 03, මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි නිවාසයක්‌ බවද 5 ඡ්‍යÊ2 අංකය දරන මෙම නිවාසය තමා 2015 වසරේ අප්‍රේල් මාසයේ දී සුසන්ත රත්නායක මහතාගෙන් රු. මිලියන 120 කට මිලදී ගත් එකක්‌ බවද විනෝදනී මහත්මිය කීවාය.

තම පියාගෙන් තිළිණයක්‌ ලෙස ලද මුදලින් තමා මෙම මහල් නිවාස ඒකකය මිලදීගත් බවද, එය මිලදී ගැනීමෙන් පසු එය අලුත්වැඩියා කිරීම සඳහා තවත් රු. මිලියන දහයක්‌ පමණ වැයකළ බවද ඇය කීවාය.

මුලින් මාස හයක කාලයක්‌ රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෙහි සිටි බවත්, ඉන්පසු ඔවුන්ගේ නිවසේ අලුත්වැඩියා කටයුතු නිමවී නොතිබූ නිසා තවත් මාස දෙකක්‌ එම මොනාක්‌ රෙසිඩන්සීස්‌හි තම මහල් නිවාස ඒකකයේ රවි කරුණානායක පවුලට සිටීමට ඉඩ ලබාදුන් බවත් විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.

එය වර්ග අඩි 4000 කින් පමණ සමන්විත එපාර්ට්‌මන්ට්‌ දෙකක්‌ එකට බද්ධකොට ඇති විශාල නිවාස ඒකකයක්‌ බවත්, ඒ නිසා මොනාක්‌ රෙසිඩන්සීස්‌ කළමනාකාරිත්වය විසින් එය “පෙන්ත්හවුස්‌ එපාර්ට්‌මන්ට්‌” ලෙස නම්කර තිබූ බවත් ඇය කියා සිටියාය.

තමා එම නිවාස ඒකකයේ අයිතිකරු බවත්, එය බද්දට ගන්නා පුද්ගලයා වූයේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා බවත් එහි නැවතී සිටියේ රවි කරුණානායක පවුල බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුර දෙමින් පිළිගත්තාය.

නිවාස ඒකකය බැලීමට පැමිණි 2016 ජනවාරි 27 දින එම හමුවෙන් දින කීපයකට පසුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ සාකච්ඡා කර තමා එම නිවාස ඒකකය බදුදීම පිළිබඳ සාකච්ඡා කර අවසන් වාචික එකඟතාවට පත්වූ බවද ඇය කොමිසම හමුවේ තවදුරටත් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles