Wednesday, May 1, 2024

ලංකා ප්‍රිමියර් ලීග් ජූලි 30දා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් මෙරට පැවැත්වෙන දැවැන්තම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (එල්පීඑල්) තරගාවලියේ දෙවැනි අදියර සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව තරගාවලිය එළැඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, අගෝස්තු 22 වැනිදා නිමාවට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මේ තරගාවලිය පැවැත්වීමට සුදුසු කාලය මෙය බව පවසා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

“මේ තරගාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය සාධක සොයන අතරතුර මේ වසරේ තරගාවලිය පැවැත්වීමට සුදුසු කාලයක් අප හොයා ගත්තා. අපට තරගාවලිය පැවැත්වීමට හොඳම කාල සීමාව වන්නේ ජූලි 30 සිට අගෝස්තු මස 22 වැනිදා දක්වායි. අප දැනට තරගාවලියේ අනෙක් කරුණු සකස් කර අවසන් කිරීමට කටයුතු කරමින් ඉන්නවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළ බව ක්‍රිකට් ආයතනය කියයි.

කෙසේ වෙතත් දෙවැනි අදියර පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට පෙර ඒ වන විට රටේ පවතින සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර ක්‍රීඩා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කර තරගාවලිය සංවිධාන කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ.

පසුගිය වසරේ ආරම්භ වූ මේ තරගාවලිය කලම්බු කිංග්ස්, දඹුල්ල වයිකිංග්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් විය. කොරෝනා වසංගතයේ බලපෑම එල්ල වී තිබුණ ද ජෛව ආරක්ෂිත බුබුළු ක්‍රමවේදය යටතේ මේ තරගාවලිය පැවැති අතර, එහි ශූරතාව දිනා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් පිල පරාජය කළ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කණ්ඩායම සමත් විය. තරගාවලියේ වීරයා සම්මානය වනිඳු හසරංගට හිමි විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles