Tuesday, May 14, 2024

වසර ගණනක් මුළුල්ලේ දුක්විඳින පළාත් ආදායම් සේවකයෝ..

වසර ගණනක් මුළුල්ලේ තමන්ගේ වෘත්තීයමය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම උදෙසා පෙළගැසෙන පළාත් ආදායම් සේවකයින්ගේ සංගමය තම වෘත්තීය වෙනුවෙන් සිදුව ඇති අසාධාරණකම් වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් සිදුකර ඇත. එම ප්‍රකාශනය පහත දැක්වේ.

බලපෑම් සහගත කොටසක් නොවීම මත හක් නොමැති වීම නිසා වසර 05ක් තිස්සේ අසාධාරණයට ලක් කර ඇති නිලධාරීන් පිරිසක්

පළාත් සභා පිහිට වූ 1991 සිට 2010 වනතෙක් අවුරුදු 19ක් පළාත් සභාවල ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තු විසින් රැස් කළ පිරිවැටුම් බදු ආදායමයි. එය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා වෙත ලබා දුන් ආදායම් ප්‍රභවයකි. නමුත් 2011 අයවැය ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිරිවැටුම් බද්ද අහෝසි කරන ලද අතර මධ්‍යම රජය මගින් රැස් කළ ජාතිය ගොඩ නැගීමේ බද්ද මගින් පළාත් සභාවලට අරමුදල් ලබා දීමට කටයුතු කෙරිණ.

2011 අයවැය මගින් පිරිවැටුම් බද්ද අහෝසි කිරීමත් සමග පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට සිය ප්‍රධාන රාජකාරිය අහිමි වූ අතර එම දෙපාර්තමේන්තු හා එහි නිලධාරීන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කිසිදු වැඩ පිළිවෙළකින් තොරව අයවැය යෝජනා ක්‍රියාත්මක විය. මෙමගින් පළාත් ආදායම් දෙපාර්තමේන්තු අක්‍රීය දෙපාර්තමේන්තු බවට පත් වූ අතර රැකියා අවිනිශ්චිත තත්වයට ද පත්ව ඇත.  පළාත් ආදායම් සේවයේ සියළු බඳවා ගැනීම් නතර කර ඇති අතර උසස් වීම් හා වරප්‍රසාද ද බොහෝ සෙයින් කප්පාදුවට ලක් වී ඇත. මීට වෙනස්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පහසුකම් වැඩි කළ අතර නව සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් “තක්සේරුකරු” තනතුර වෙනුවට, “සහකාර කොමසාරිස්” තනතුරට ඇති  කළ අතර “තක්සේරුකරු” තනතුරට පහළින් “බදු නිළධාරී” තනතුරේ කටයුතු කළ නිලධාරීන් “සහකාර කොමසාරිස්” ධූරයට උසස් කරමින් බදු නිලධාරී තනතුර ඉවත් කරන ලදී.

පළාත් සභා හා මධ්‍යම රජයේ සර්ව සමගාමී දෙපාර්තමේන්තු 02ක් සම්බන්ධයෙන් අනුගමනය කළ මෙම අසාධාරණ සැලකීම සම්බන්ධයෙන් හඬ නැගූ විට එකල පැවති රජය කමිටුවක් පත් කළ අතර එහි තීරණය වූයේ පළාත් ආදායම් සේවා නිලධාරීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කලයුතු බවයි. (එවකට සිටි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ද මෙම කමිටුවේ සාමාජිකයෙකු විය) කමිටු යෝජනා ක්‍රියාත්මක නොවූ අතර දිවයින පුරා සිටි 350ක් පමණක් වූ පළාත් ආදායම් සේවා නිලධාරීන්ගේ හඬ රජයට දැනෙන තරම් හඬක් නොවූ නිසා කිසිදු තැකීමකට ලක් නොකෙරිනී. ලිඛිත හා සාමකාමී ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නො වූ බැවින් වසර 05ක් පුරාවට වරින් වර උද්ඝෝෂණ, විරෝධතා, සත්‍යග්‍රහ ව්‍යාපාර ද නොකඩවා පවත් වන නමුත් අප සුලු පිරිසක් බැවින් සාකච්ඡාවකට වැඩි යමක් කිසි විටක නොලැබුනි. නව ආණ්ඩුව වෙත ද කල ඉල්ලීම්වලට සාකච්ඡාවකට වැඩි යමක් නොලැබුණු බැවින් අයවැය මගින් හෝ විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත් වූ නමුත් කිසිදු සහනයක් අයවැය මගින් ද ලබා දී නැත.

මෙමගින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ බදු නිලධාරීන් වශයෙන් සේවය කරන නිලධාරීන් වේ. තරඟ විභාගයක් මගින් පත් වූ තරුණ නිලධාරීන් බදු නිලධාරීන් වශයෙන් කටයුතු කරන අතර උසස් වීම්, නිශ්චිත රාජකාරි හා සේවා තත්වයන් අවිනිශ්චිත වීම තුළ විශාල අසාධාරණයක් හා අවිනිශ්චිත අනාගතයක් ඔවුන්ට උරුම කර ඇත.

ඉතාමත් පැහැදිලි, පෙනි පෙනී සිදු වී ඇති මෙම අසාධාරණය සම්බන්ධයෙන් එවකට විපක්ෂයේ මන්ත්‍රිවරයෙකුව සිටි එරාන් වික්‍රමරත්න මහතා දෙවරක් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කල අතර ඒ සම්බන්ධයෙන් එතුමාට ස්තූතිවන්ත වන නමුත් ආණ්ඩු පක්ෂයට පැමිණි විට බලපෑමක් කළ නොහැකි කුඩා පිරිසක් බැවින් දෝ අපව වර්තමානයෙහි අමාත්‍යවරයෙක් ලෙස අපගේ ගැටලුව අමතක කර තිබේ.

මේ දිනවල පළාත් සභා මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡා හා විසඳුම් තුළ වසර 05ක් පුරා පීඩාවට පත්ව සිටින පළාත් ආදායම් සේවා නිලධාරීන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ද විසඳුමක් ලබා දෙන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන්, ගරු අගමැතිතුමාගෙන්, ගරු මුදල් ඇමතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. එසේම ගරු එරාන් වික්‍රමරත්න අමාත්‍යතුමාගෙන් ද මීට මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

 

එකළ පිරිවැටුම් බද්ද අහෝසි කිරීමේ  තීරණය හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී.ජයසුන්දර මහතා සහ ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ අත්තනෝමතික තීරණයක් බව එකළ ප්‍රකාශ විය. මෙම අහෝසි කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභා පිහිටුවීමේ දී  පළාතේ ආදායම් රැස් කිරීම සඳහා ද ප්‍රතිපාදන සලස්වන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන උපලේඛනයේ 1වන ලැයිස්තුව වන පළාත් සභා ලැයිස්තුවේ 36: 1 සිට 36: 20 දක්වා මගින් එම ප්‍රතිපාදන දක්වා ඇත.

මෙම ආදායම් ශීර්ෂ අතුරෙන් පළාත් සභාවල ප්‍රධාන ආදායම වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා ලැයිස්තුවේ 36: 1 යටතේ පැනවූ තොග හා සිල්ලර විකිණිම සම්බන්ධයෙන් වූ පිරිවැටුම් බද්දයි. සාමාන්‍ය අයවැය යෝජනාවක මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලඞඝණය කල නොහැකි වුවද එකළ රජයට පැවති අසීමිත බලය නිසා මීට විරුද්ධ වීමට කිසිවෙකු නොවූ අතර තවමත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යෝජනා ක්‍රියාත්මක වේ.

1991 පළාත් සභා පිහිටු වීමේදී ම පළාත් ආදායම් දෙපාර්තමේන්තු පිහිට වූ අතර එය මධ්‍යම ආණ්ඩුවේ ආදායම් රැස් කිරීමේ ආයතනය වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සර්ව සමගාමී පළාත් සභා දෙපාර්තමේන්තු ලෙස පිහිට වූ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් නිලධාරීන් ගෙන් මූලික වශයෙන් පළාත් ආදායම් දෙපාර්තමේන්තු ආරම්භ කරන ලද අතර වරින් වර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් පළාත් සභාවට අනුයුක්ත කෙරිනි. පළාත් ආදායම් සේවයේ තනතුරු වැටුප් හා උසස්වීම් 100%ක් දේශීය ආදායම් සේවයට සමගාමී විය. මේ තත්වය තුළ මෙම දෙපාර්තමේන්තු 02කට දෙආකාරයනට සැලකීම පෙනි පෙනී කරන ලද අසාධාරණයක් වන අතර හඬක් නොමැතිකම නිසා ත් බලපෑම් කණ්ඩායමක් නොවීමත් නිසාත් කිසිදු රජයක සැලකිල්ලකට අපව ලක් වී නොමැත.

 

සමස්ත ලංකා පළාත් ආදායම් සේවා නිලධාරීන් වෙනුවෙන්

ලේකම්,

දකුණු පළාත් ආදායම් සේවා සංගමය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles