Thursday, May 2, 2024

වැලිපැන්න යටවෙයි… රටපුරා මහ වැසි සහ නායයාම්

පවතින අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

අප වාර්තාකරු වැඩිදුරත් පැවසුවේ වැලිපැන්න පිවිසුම ආසන්නයේ ස්ථාන දෙකක මාර්ගය මෙලෙස ජලයෙන් යටවී ඇති බවය.

මේ අතර අධිවේගී මාර්ග නඩත්තු ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප පිවිසුම් මාර්ග භාවිත කරන ලෙසටය.

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද දිනයේත් වළාකුළුවලින් බරව පවතින බවය.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බවය.

ඒ අනුව ගාල්ල බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල, ඇහැළිගොඩ, ඇලපාත, රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට සහ කලවාන යන ප්‍රදේශ සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, බුලත්සිංහල, වලල්ලාවිට, ඉංගිරිය ,දොඩංගොඩ සහ අගලවත්ත, මතුගම සහ බණ්ඩාරගම යන ප්‍රදේශ සඳහා ද නාය යෑම් අවදානම් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව ජාතික ගොඩනැලි පර්යේෂණ සංවිධානය සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles