Friday, April 26, 2024

විදුලි ගුවන් යානා ප්‍රගතිය

දශක දෙකකට පමණ පෙර එකට සේවය කල ඉරාක මිතුරෙක් මට සිටියේය. ඔහු ගුවන් යානා පිස්සෙක් කියා කීවොත්, එය වඩාත් නිවැරදිය. පුද්ගලික ගුවන් යානා බලපත්‍රය ගැනීම ඔහුගේ එකම අභිලාශය විය. ඇත්තෙන්ම පසු කලෙක ඔහු ඒ සඳහා නිම කල යුතු පීඩාකාරී විභාග සමත්ව, එය ලබා ගත්තේය.

දිනක් ඔහුගේ ඇවටිල්ල නිසා, එක්සත් අරාබි ජනරජයේ “උමල් කුවේන්” හී ඇති කුඩා ගුවන් යානා අංගනය බලන්නට ගියෙමු. ඒ ගියේ එහිදී එම ගුවන් යානා බලපත්‍රය ලබා ගැනීමේ විස්තර සොයා ගැනීමටය. විස්තර ලබා ගැනීමෙන් පසු නොයෙක් ආකාරයේ කුඩා ගුවන් යානා ඇති අංගනය දෙසට ගියෙමු. සමහරක් ඒවා ලොකු කුරුල්ලෙක් සිහි ගැන්වීය. මේවා උඩ යන්නේ කෙසේද යයි සිතෙන තරම් කුඩා සහ සරළ ඒවා විය.

මෙසේ නොයෙක් දෙනා සමඟ කුතුහලයෙන් යුතුව කතා කරන විට, ගුවන් යානා පුරුදු කරන්නෙක් අපට මුණ ගැසිණි. එය අපගේ වාසනාව විය. මක්නිසාදයත් ඔහු ලංකාවේ සිට එහි ගිය කෙනෙක් වීමය. අවාසනාවට මට ඔහුගේ නම මතක නැත. ඔහු බර්ගර් ජාතිකයෙක් වූ බව නම් මතකය. අප සමඟ මිතුරු වූ ඔහු කියා සිටියේ, තව ටික වෙලාවකින් “ෂේක් කෙනෙක්”, … ඔහු පුරුදු කරවන “සෙස්නා” ආසන හතරේ ගුවන් යානය පදවන්නට එන බවය. “ෂේක් කෙනෙක්” යයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ, ධනවත් කෙනෙක්ටය. එසේ නැත්නම් රජ පවුලකට අයත් කෙනෙකුටය.

ෂේක් ගේ අකමැත්තක් නැත්නම් අපටද ගුවන් යානාවේ පසුපස අසුන් දෙකේ හිඳ ගෙන ගිය හැකි බව ඔහු කීවේය. තවත් ටික වෙලාවකින් ෂේක් පැමිණියේය. ඔහුද මිත්‍රශීලී කෙනෙක් වීම සහ අප දෙදෙනාගේ අසීමිත කැමැත්ත නිසා, අපද ඔහු ඉගෙන ගන්නා ගුවන් යානයේ පියාසර කිරීමට ඔහුගේ අකමැත්තක් නැති විය. වැඩියෙන් වියදම් වන තෙල් ප්‍රමාණය ඔහු තැකුවේ නැත. හතර දෙනෙක්ට පමණක් යා හැකි කුඩා වාහනයක් ගැන සිතන්න. එවන් වාහනයක දෙදෙනෙක් ගේ සිරුරු එකට ගෑවෙන්නේ නැති වුවද, මේ ගුවන් යානය එසේ නොවේ. අපගේ සිරුරු ගෑවෙන නොගෑවෙන තරමට යානය පටු විය.

මේ අතර අප ගුවන් යානයේ පාලක පූවරුව දෙස බැලුවෙමු. එහි ඇති බොහෝ දර්ශක ගැන එකවර අවබෝධ වූයේ නැත. නමුත් ගුවන් යානයක් පැදවීම, පාරේ යන වාහනයක් පදවනවාට වඩා, “බොහෝ අපහසු” සහ “සෑහෙන තරම් දැනුමක් අවශ්‍ය බව” නම් හැඟිනි. අංගනයේ ඉදිරියට ඇදී යන යානයේ ඉදිරි කව්ලුවෙන් බලද්දී අහස හැර කිසි දෙයක් නොපෙනින. එතරම්ම යානයේ ඉදිරියට එසවී තිබිණ. කෙමෙන් යානය අහසට නැංවූ පසු පහත ඇති නිවාස සහ පාරවල් කෙමෙන් කෙමෙන් කුඩා වී ගියේය.

මේ ගමනෙන් පසු පුද්ගලික යානා බලපත්‍රය ගැනීමට සිතක් පහළ වුවද, ඒ සඳහා අවශ්‍ය මුදල සාධාරණීයකරණය කිරීම අපහසු වීම නිසා එය අමතක කලෙමි. එකල ඒ මුදල එක්සත් අරාබි ජනරජ ඩිරාම් 40,000 ක් විය. එකළ ඩිරාම් එකක් රුපියල් 20ක් පමණ වෙන්නට ඇත. අද දින ඩිරාම් එකක් රුපියල් 55 ක් පමණ වේ.

කාලය ගෙවී ගියේය. ඩිරමට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි විය. තව විදියකින් කිවහොත් රුපියල දෙගුණයකටත් වඩා බාල්දු විය. ඒ අතරේ ගුවන් යානා කර්මාන්තය යන දිශාව වෙනස් වූයේ, ඒවා විදුළිකරණයට යොමු වීමෙනි. විශේෂයෙන් කුඩා ගුවන් යානා විදුළිකරණය වීම වේගවත්වී තිබේ. තවද ඒවා ගුවන් ගත වීමට දීර්ඝ පථයක් ද අනවශ්‍ය වීම මෙහි ඇති විශේෂයකි. වර්තමානයේ VTOL [Vertical takeoff & landing] සේ හඳුන්වන යානා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

ඊට තවත් හේතුවක් වන්නේ, ඒවායේ සංකීර්ණ පරාමිතීන් ඇති ෆොසිල එන්ජිමක් නැති වීමත්, එම එන්ජිමේ භාරය දරා ගැනීමට වඩාත් ඉන්ධන අවශ්‍ය වීම සහ නඩත්තු කටයුතු සංකීර්ණ නිසා, ගුවන් යානයක හිමිකාරීත්වය සඳහා යන මිළ අඩුවීමත් හෙයිනි. අද දින මේ ගුවන් යානා නිෂ්පාදනය විශාල තරඟයක් වී පවතී. තවත් මාස කීපයකින් මොබයිල දුරකථන නිෂ්පාදනය කරන ඇපල් සමාගමෙන් මේ ආකාරයේ විදුළි වාහනයක් තැනුවොත් ඒ ගැන කලබල විය යුතු නැත. ඔවුන් දැනටමත් විදුළි වාහන නිෂ්පාදනයට අත ගසා තිබේ.

මේ තරඟයේ එක් මූළික සාමාජිකයෙක් වන ඊශ්‍රායෙල සමාගමකින් නිපදවන යානාවේ විස්තර පහත සේ වේ.

ගුවන් ටැක්සි සහ අනෙකුත් නාගරික භාවිත කෙරෙහි අවධානය යොමු කරමින් ඊශ්‍රායෙල් සමාගමක් වන AIR මගින්, AIR ONE යන පුද්ගලික යානය එළි දක්වා ඇත. එය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි සිරස් අතට ගුවන් ගත කිරීමට සහ ගොඩබෑමේ හැකියාව ඇති (eVTOL) ගුවන් යානයකි. එය එසවුම් රෝටර් හෙවත් පංකා අටකින් ධාවනය වනු ඇත.

නියමුවාට සහ මගියෙක්ට ඉඩ සලසන එය, අවශ්‍ය නම් වීදුරු පතුලක් ඇතිව මිලට ගත හැකි වනු ඇත. යානයේ යන පුද්ගලයින් දෙදෙනාටම එය පාලනය කල හැක. යානය වඩාත් ආකර්ෂණීය වීම සඳහා මේ ගුවන් යානයේ පියාපත් හැකිළිය හැක්කේ, එය සාමාන්‍ය ගරාජයකට තල්ලු කිරීමේ හැකියාව ලබා දෙමිනි. ඕනෑම පැතලි මතුපිටකට එයට ගොඩබෑමේ හැකියාව ඇත.

AIR ONE සඳහා එක් ආරෝපණයක් මගින් සැතපුම් 110 ක් (කි.මී. 177) පියාසර පරාසයක් ඇත. පැයක පමණ කාලයක් ගුවන් ගත කල හැක. වේගය පැයට සැතපුම් 155 (පැයට කි.මී 250) දක්වා වේ.

උසස් ගුවන් නියමුවන්ට සහ පුහුණුව ලත් වෘත්තිකයින්ට පමණක් යානය සීමා නොවේ. ඉහත මා කියූ සෙස්නා ගුවන් යානයන් එසේ නැත. එනම් සංකීර්ණ කාර්යයන් කළමනාකරණය භාර ගන්නා පාලන පද්ධතියක් එහි ඇත. බොහෝ පරාමිතික ඒ පාලක පද්ධතියට භාරදිය හැක. අතිරේක ආරක්‍ෂක අංගයන්ට AI [Artificial intelligence] අධීක්ෂණ පද්ධතියක් ඇතුළත් වේ. ඉතා කුඩා පුහුණුවක් පමණක් එය පැදවීම සඳහා අවශ්‍ය වේ.

AIR ONE නිර්මාණය කර ඇත්තේ ආරම්භයේ සිටම ගුවන් යානා ප්‍රමිති හා රෙගුලාසි වලට අනුකූල විනෝදාත්මක, ආරක්ෂිත සහ ප්‍රායෝගික වාහනයක් ලෙස ය. මෙම යාන සඳහා මහා පරිමාණ නිෂ්පාදනය ඉලක්ක කර ඇත. ඒ සඳහා සහතිකය ලබා ගැනීම සඳහා FAA [Federal aviation administration] සංවිධානය සමඟ කටයුතු කරමින් සිටී. දැනටමත් මේ ආසන දෙකේ යානාව සඳහා කලින් ඇණවුම් ලබාගත හැකි අතර, එය 2024 වසරේ දී එළිදැක්වීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මිල ගණන් පිළිබඳ තොරතුරු 2022 මුල් භාගයේදී ප්‍රකාශයට පත් කෙරේ. වැඩි විස්තර සඳහා ගූගල් කර බලන්න.

අන්තර් ජාල හෝඩුවාවල් අනුව නම්, මෙහි මිල සාමාන්‍ය මෝටර් රථයකට වඩා ටිකක් වැඩිවනු පමණි.

ජ්‍යෝෆ්‍රී බේකන්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles