Saturday, May 18, 2024

විනිමය කොමිසමේ නූල් සූත්තර හෙළිවේ !

විනිමය හා සුරැකුම්පත් කොමිසමේ ප‍්‍රධානියකු රුපියල් මිලියන 430ක රේගු බදු වංචාවක් සිදු කර තිබෙන බවට චෝදනා එල්ල වී ඇත.


එම ප‍්‍රධානියාට අයත් පෞද්ගලික සමාගමක් මඟින් කර්මාන්ත ශ්‍රේණිගත ඉරිඟු පිටි කැඳ ආනයනය කරන බව පෙන්වා දෙමින් ආහාරමය ඉරිඟු පිටි කැඳ ආනයනය කර තිබේ. රේගු බදු අය කිරීමේ දී කර්මාන්ත ශ්‍රේණිගත ඉරිඟු පිටි සඳහා අය කරන බද්ද ආනයනික වටිනාකමින් 9%කි. ආහාරමය ඉරිඟු පිටි කැඳ සඳහා එම බද්ද ආනයනික වටිනාකමින් 17%කි.


ආනයනය කරන භාණ්ඩයේ බදු අනුපාතය (HS Code) තම වාසියට හරවා ගනිමින් එම සමාගම මෙම රේගු බදු වංචාව අරඹා ඇත්තේ මීට වසර 15කට පමණ පෙර සිටය. රේගු පරීක්ෂක නිලධාරින්ගේ ගණන් බැලීම්වලට අනුව ඉරිඟු පිටි කැඳ ආනයනය කළ කාල පරතරය සහ එසේ ආනයනය කළ වාර ගණන මත පදනම්ව කරන ලද තක්සේරුව අනුව එම සමාගම රුපියල් මිලියන 430කට වැඩි රේගු බදු වංචාවක් සිදු කර ඇත.


ඉරිඟු පිටි කැඳ ආනයනය කර ඇත්තේ ඇඟලූම් සමාගම්වලට නූල් රෙදි සඳහා කැඳ දැමීමේ කාර්ය උදෙසා බව හුවා දක්වමිනි. එහෙත් ආහාරමය ඉරිඟු පිටි කැඳ ආනයනය කර ඒවා මෙරට සුප‍්‍රකට සමාගම් කිහිපයකටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතත් ආහාර හා ඖෂධීය අමුද්‍රව්‍ය යටතේ සැපයීම් කටයුතු සිදු කර ඇත.


ඔඩෙල් ?


මේ අතර ප‍්‍රකට ඇඟලූම් නිෂ්පාදන සමාගමක නව හිමිකරුවා මහජන කොටස් නිකුතුවක් (IPO)හරහා මුල්‍ය අක‍්‍රමිකතාවක යෙදී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එම සමාගම පසුගිය දා ඉදිරිපත් කළ රුපියල් මිලියන 2100 ක කොටස් නිකුතුව මඟින් එම සමාගම අත්පත් කර ගත් ධනය එම සමාගමේ අපේක්ෂිත අරමුණ වෙනුවට වෙනත් ව්‍යාපාරික වුවමනාවක් වෙනුවෙන් යොදා ගැනීම මඟින් කොටස් වෙළෙඳපොළ නීතීන් බිඳ දමා ඇත.


සමාගමේ අපේක්ෂිත අරමුණ වූයේ එම සමාගම ජාත්‍යන්තරයට ව්‍යාප්ත කරවීමය. එහෙත් එම සමාගම් හිමිකරු විසින් සිදු කර ඇත්තේ තමන්ට අයත් වෙනත් සමාගමක අවශ්‍යතාවය වෙනුවෙන් එම මුදල් වැය කිරීමය. එය නීති විරෝධී කටයුත්තකි.


මේ සම්බන්ධයෙන් කොටස් වෙළෙඳපොළ නියාමනය කරන සුරැුකුම්පත් හා විනිමය කොමිසමට පැමිණිලි ඉදිරිපත්ව ඇත. එහෙත් එම කොමිසන් සභාවේ ප‍්‍රධානියකු විසින් ඊට අදාළ පැමිණිල්ල විභාග නොකර යට ගසා ඇති බව වාර්තා වේ.


(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles