Sunday, May 5, 2024

ඉනෝකා සත්‍යංගනී දිවි නසාගැනීමට යයි !

තමන්ට දැන් ඉතිරි වී ඇත්තේ සියදිවි නසාගැනීම පමණක් බව සම්මානනීය චිත‍්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යංගනී පවසයි. ඇය මෙම තත්ත්වයට පත්ව ඇත්තේ ඇගේ නවතම සිනමා නිර්මාණය වන සින්ඩෙ‍්‍රරෙල්ලා චිත‍්‍රපටය නිසා උද්ගත වූ අර්බුදයක් හේතුවෙනි.

සින්ඩෙ‍්‍රරෙල්ලා චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත නිරූපණය කළේ ජනප‍්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි සහ ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන අකලංක ගනේගම ය. මෙම ශිල්පීන් දෙදෙනා එකිනෙකා සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබෙන හෙයින් සින්ඩෙ‍්‍රරෙල්ලා චිත‍්‍රපටයේ තේමා ගීතය රූපගත කිරීම සහ ප‍්‍රචාරක කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන් ඇණහිට ඇත.

මේ වන විට චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය සඳහා දින ලැබී ඇතත් මෙම අර්බුදය හේතුවෙන් ඒ සියලූ වැඩකටයුතු නතර කිරීමට සිදුව ඇතැයි අධ්‍යක්ෂිකාව පවසයි.

මෙම චිත‍්‍රපටය නිර්මාණය කිරීම සඳහා මුදල් සොයා ගැනීමට තමන් සතුව තිබූ දේපළ පවා උගසට තැබීමට සිදු වූ බව පවසන ඉනෝකා සත්‍යංගනී, එම දේපළ මේ වන විට සින්න වී ඇති බව ද කියා සිටියි.

අදාළ රංගන ශිල්පීන් යුවළ අතර චිත‍්‍රපටය රූ ගත කිරීම් අතරතුර අතිශය සමීප සබඳතාවක් තිබූ බවත්, ඔවුන් විවාහ වීමට පවා සූදානම්ව සිටි බවට කටකතා පැතිර ගිය බවත් පසුව වෙනත් තරුණියක් සමඟ විවාහ වූ රංගන ශිල්පියාගේ පාර්ශ්වය නැවත එම රූපගත කිරීමට විරුද්ධ බවත් අප කළ සොයා බැලීමක දී අනාවරණය විය.

මෙම අර්බුදය හේතුකොටගෙන තමන් මහත් අපහසුතාවට පත්ව ඇති බවත් වෙනත් සමාන ශිල්පියකු යොදාගෙන රූපගත කිරීම් කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බව චිත‍්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යංගනී වැඩිදුරටත් කියා සිටියි. කෙසේ වෙතත් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අදාළ රූපගත කිරීමට සූදානම් බව ද වාර්තා වෙයි.

(නුවන්ත පෙරේරා)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles