Monday, May 6, 2024

වෛද්‍යවරු දෙදෙනෙකුට කොවිඩ්

බලපිටිය මූලික රෝහලේ සේවය කළ වෛද්‍යවරු දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

ගාල්ල වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය වෙනුර සිරංගආරච්චි මහතා පැවසූවේ ආසාදිත වෛද්‍යවරු දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම රෝහලේම තවත් වෛද්‍යවරු පිරිසක් මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවය. 

ඊයේ (01) සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ අදාළ ආසාදිත වෛද්‍යවරු දෙදෙනා හඳුනාගෙන තිබුණි.

බලපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර සේවා පවත්වාගෙන යෑමට පියවරගෙන ඇති අතර හදිසි සැත්කම් ද සිදුකෙරෙන බවය. 

කෙසේවෙතත් කලින් දින වෙන්කර ඇති සැත්කම් තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ.

මේ වනවිට රෝහල් සෞඛ්‍ය කාර්යමණ්ඩල දැඩි කොවිඩ් අවදානමකට මුහුණදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයෙකු ද මියයාම මගින් ඒ බව තවදුරටත් තහවුරු වන බවය.

“මාසයකට ආසන්න කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා අවසානයේදී අපිට මේ සටනෙදි පරාජය තමයි උරුම වෙලා තියෙන්නෙ. ගයාන් වෙනුවෙන් කළ හැකි දේ තමයි අනාගතයේදී මෙවැනි මරණ වළක්වන්න අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගන්න එක. රටක් විදිහට කොවිඩ් සම්බන්ධයෙන් ඉතා අවදානම් තැනකට ගමන් කරමින් තිබෙනවා කියන එක අපි පසුගිය මාස දෙක තුන ඇතුළත අවධාරණය කළා. කොවිඩ් දෙවන රැල්ල තුළ මේ වනවිට වෛද්‍යවරු 100කට ආසන්න ප්‍රමාණයක් රෝගී වෙලා. සෞඛ්‍ය කාර්යමණ්ඩලය විදිහට 1000කට වැඩියි. ආශ්‍රිතයෝ ඊටත් වඩා වැඩියි.”

හොරණ, ගෝනපල ප්‍රදේශයේ රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවකයින් 23 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කිරීමේ දී ඉන් 13 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර, බදුරලිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක් ආශ්‍රයෙන් ද මේ දක්වා කොවිඩ් -19  ආසාදිතයින් 30කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම් ලාල් වික්‍රමතන්ත්‍රි මහතා පැවසීය.

මේ අතර, පිළියන්දල දිසා රෝහලේදී, සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ 60 දෙනෙකුට අද (02) පෙරවරුවේ “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබා දී ඇත.

එහිදී බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන පවුල් සෞඛ්‍ය 
සේවිකාවකට එන්නත්කරණයෙන් පසු ආසාත්මිකතාවක් ඇතිවී තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඇය මේ වන විට එම රෝහලේම අංක 03 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles