Monday, April 29, 2024

සරසවි ආචාර්යවරුන්ගෙන් කෝටි 200කට පොලු!

උසස් අධ්‍යාපනය සදහා වි‍දේශගතව යළි නොපැමිණි  විශ්වවිද්‍යාල  ආචාර්යවරුන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න හිඟ  මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මෙම මුදල අදාළ ඇපකරුවන්ගෙන් හෝ  අයකර ගැනීමට කටයුතු කළයුතු බව කෝප්  කමිටු සාමාජික මන්ත්‍රීවරු මෙහිදී විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු නිලධාරින්ට පෙන්වා දුන්හ.

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 ක පමණ පිරිසගෙන් අදාල හිඟ ගෙවීම් කර ඇත්තේ ආචාර්යවරුන්  84 දෙනකු පමණක් බවද එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණයවිය.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාසයක කාලයකදී  දැනුවත් කරන ලෙස  කෝප් කමිටුවේ  සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.


මේ අතර විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී ඇතැම් විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම පිළිබදව අවධානය යොමු කළ කමිටුව පෙන්වා දුන්නේ  ඉහළ ඉසඩ්  අගයක් ලබා ගත් සිසුන්ට මෙමගින් අසාධාරණයක් වීමේ හැකියාවක් පවතින බවයි.

එම විෂයයන් සදහා උසස්පෙළ විභාගයේදීද ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා ඉසඩ්  අගය ලබා දෙන බැවින් තවදුරටත් ප්‍රායෝගික පරීක්ෂණයක් අනවශ්‍ය බව මෙහිදී අදහස් ඉදිරිපත් විය. ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙස කෝප් කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

තවද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගෙවීම් සහතික කිරීම සදහා පැමිණීම තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙසටද කෝප් කමිටුව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාවට නිර්දේශ කර ඇත.

මේ අතර විවිධ ආයතනවලින් අනීතික ලෙස ලබා දෙන ආචාර්ය, මහාචාර්ය තනතුරු සම්බන්ධයෙන්ද  කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  මෙහිදී පෙන්වා දුන්නේ මේ සදහා ක්‍රියාමාර්ග ගැනීමට කොමිෂන් සභාවට නෛතික ප්‍රතිපාදන නොමැති බවයි.

මෙවැනි කටයුතු හේතුවෙන් ආචාර්ය මහාචාර්ය තනතුරු පවා හෑල්ලුවට ලක්වන බැවින් කොමිෂන් සභාව මේ සදහා මැදිහත් විය යුතු බව කමිටුව අවධාරණය කළේය. මේ අනුව මේ සදහා කළ යුතු නෛතික වෙනස්කම් ඉදිරිපත් කරන ලෙසටද  කමිටුව කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විමසීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීහු  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය 28 වැනි දා කැඳවනු ලැබුහ . මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles