Saturday, May 4, 2024

සරසවි සිසුන්ට ඩිජිටල් යුගයකට යන්න අගමැති පාර කපයි

රජයේ මැදිහත් වීමෙන් විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබාදීම නිසා සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට ඩිජිටල් යුගයකට ඩිජිටල් ආර්ථිකයකට ඇතුළු වීමට අවස්ථාව ලැබී තිබෙන බවත් ලංකාවේ සියලුම සිසුන් මෙම ක්‍රමයෙන් ප්‍රයෝජන ලබාගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති  විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පරිගණක බෙදාදීමේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අගමැතිරයා මේ බව සඳහන් කළේය.

අගමැතිවරයාගේ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

“සියලුම විශ්වවිද්‍යාල සිසුනට ඩිජිටල් සම්බන්ධතාවය ලබාගැනීම සදහා පහසුකම් අද සිට සැලසෙනවා. මෙතෙක් කලක් විශ්වවිද්‍යාල සිසුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර මිලදී ගත්තේ දෙමාපියන්ගෙන් ලබාගත් මුදල් වලිනුයි. නමුත් තවත් පිරිසකට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර තිබුණේ නැහැ. අධ්‍යාපනය හදාරන අයට ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් තිබීම විශාල වාසියක් බව කිව යුතුයි. එයින් විශාල ප්‍රයෝජනයක් තිබෙනවා. ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් නොමැති නම් එය අධ්‍යාපනය ලැබීමේදී අවාසි සහගත තත්ත්වයක්.
විශ්වවිද්‍යාල සිසුන් සදහා ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබාගැනීම සඳහා වාසිදායක ණය ක්‍රමයක් ඇති කරන බවට අප පසුගිය වසරේදී ප්‍රකාශ කළා. අප අද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබාදෙන්නේ එම පොරොන්දුව ඉටු කිරීම සදහායි. මෙම ලැප්ටොප් පරිගණක ලබාදීම නිසා සියලුම විශ්වවිද්‍යාල සිසුනට ඩිජිටල් යුගයකට ඩිජිටල් ආර්ථිකයකට ඇතුළු වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ලංකාවේ සියලුම සිසුන් මෙම ක්‍රමයෙන් ප්‍රයෝජන ලබාගත යුතුයි.

 

එක් කලකදි පාසල් සිසු සිසුවියන් සඳහා අවශ්‍ය පොත්පත් තිබුණේ නැහැ. අප ඒ පොත්පත් ලබාදීමට කටයුතු කළා. අද ඊට වඩා වෙනස් තාක්ෂණ යුගයක් නිර්මාණය වී තිබෙනවා. පරිගණක, ලැප්ටොප් යන්ත්‍ර, අයිපෑඩ් ටැබ්ස් ආදියත් වර්තමානයේ අධ්‍යාපනයට ඉවහල් කරගත හැකියි.

වර්තමානයේ බොහෝ සිසුන්ගේ අතේ ජංගම දූරකතන තිබෙනවා. ජංගම දුරකථනයෙනුත් අධ්‍යාපනයට යම්කිසි ප්‍රයෝජනයක් ලබාගත හැකියි. ඒ අතරතුරේදී සෙල්ෆි ගන්නවා, ඊමේල් යවනවා, එස්එම්එස් කරනවා, ඒවාත් අධ්‍යාපනයත් ඔක්කොම කරන්න නම් අමාරුයි. ලැප්ටොප් යන්ත්‍රයක් තිබෙනවා නම් අධ්‍යාපනය සදහා වඩාත් වාසිදායකයි. හැම දෙනාටම ලැප්ටොප් යන්ත්‍රයක් ලබාගෙන අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීම සදහා අප අවස්ථාව සලසා තිබෙනවා.

දේශන කාමරයට ලැප්ටොප් යන්ත්‍ර උපයෝගි කර ගැනීම යන කරුණ අප අත්හදා බැලිය යුතුයි. සමහර පීඨවල දේශන කාමරය සඳහා ලැප්ටොප් පරිගණක යොදා ගන්නවා. එහෙත් ඇතැම් පීඨවල එවැනි තත්ත්වයක් නැහැ. ලැප්ටොප් යන්ත්‍ර දේශන කාමර සඳහා යොදාගෙන අත්හදා  බලන්න රජයක් ලෙස අපට අවශ්‍යයි. ඇමරිකාව, එංගලන්තය වැනි රටවල එම අත්හදා බැලීම කරනවා. වසර දෙකකට පෙර මා එම්.අයි.ටී ආයතනයේ සිටියදී එහි සියලුම දෙනා දේශන කාමරය සදහා ලැප්ටොප් පරිගණක යොදා ගනු ලැබුවා.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඇතැම් දේශකයන් දැන් ලැප්ටොප් පරිගණක දේශන ශාලාවේ භාවිතා කිරීම තහනම් කර තිබෙනවා. ඇතැමුන් ලැප්ටොප් පරිගණකය  භාවිතා කර ඊ මේල් පණිවිඩ වලට පිළිතුරු දීමත්, තවත් සමහරුන් අන්තර්ජාලය භාවිතා කර භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතු කිරීමත් නිසා මෙම තහනම පනවා තිබෙනවා.

කෙසේ නමුත් අපත් දේශන කාමරයේදී ලැප්ටොප් පරිගණක යොදා ගැනීමේ මෙම අත්හදා බැලීම සිදුකර සාර්ථක ප්‍රතිඵල අත්කර ගත යුතුයි. සිසුනට ලැප්ටොප් පරිගණක ලබාදීමෙන් තවත් එක් ප්‍රයෝජනයක් තිබෙනවා. එනම් විශ්වවිද්‍යාල සිසුන් සදහා ඉංගි්‍රසි භාෂාව ඉගැන්වීමට අන්තර්ජාල ඉංගි්‍රසි පාඨමාලාවලට පිවිසීමේ හැකියාව ලැබීමයි. ඒ පිළිබදව මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමගත්, ඇමතිවරුන් සමගත් සාකච්ඡා කළා. අන්තර්ජාලය ඔස්සේ ඉංග්‍රීසි පාඨමාලා හැරුණු විට සැමටම ඉංග්‍රීසි දැනුමත් ලබාගත හැකියි.

 

වර්තමාන සමාජයේ ලොකුම ප්‍රශ්නය කඩුවයි. කඩුවට පිළිතුර ලෙස අපට නව තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. අප එතැනින් පටන් ගනිමු. අවශ්‍ය නම් යූ ටියුබ් හරහා ඉංග්‍රීසි කථනයක් පුහුණු විය හැකියි. ඇමරිකන් ඉංග්‍රීසි කතා කරනවාද, එංගලන්ත ඉංග්‍රීසි කතා කරනවාද කියා අප තීරණය කළ යුතුයි. ඒ දෙකෙත් වෙනසක් තිබෙනවා.
ඉංග්‍රීසි දැනුම ලැබුණු පසු පුස්තකාල ප්‍රශ්නයටත් විසදුමක් ලැබෙනවා. විශ්වවිද්‍යාල පුස්තකාල සදහා අප මුදල් ලබා දෙන්නම්. විශ්වවිද්‍යාලය මගින් අන්තර්ජාලය හරහා ආයතන සමග සම්බන්ධ වී පොත් මිලදී ගන්නවා නම් නැතිනම් පුස්තකාල සේවා මණ්ඩලය මගින් මිලදී ගන්නවා නම් අප විශේෂ පහසුකම් ලබා දෙන්නම්. බොහෝ විට විශ්වවිද්‍යාල පුස්තකාලයෙන් පොත් ලබාගන්නවා නම්  අඩු මිලට හෝ නොමිලේ හෝ ලබා දිය හැකියි. පුද්ගලයෙකු ලබා ගන්නවා නම් යම් මිලකට ලබාදිය හැකියි.

 

ඉංග්‍රීසි දැනුම දියුණු කර ගැනීම තුලින් අන්තර් ජාලය හරහා පුස්තකාලය පරිහරණය කිරීමේ හැකියාව  ඔබට ලැබෙනවා. ඒ වගේම නොමිලේ ලැබෙන පොත් තිබෙනවා. ඊ පොත් තිබෙනවා. ඊ සඟරා තිබෙනවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආදියෙහි සියලුම වාර්තා අන්තර් ජාලයෙන් ලබාගත හැකියි.

 

අපේ අධ්‍යාපනය තාක්ෂණ යුගයට යැවීමේ අත්හදා බැලීමක් ලෙස අප මෙම ලැප්ටොප් පරිගණක විශ්ව විද්‍යාල සිසුනට ලබා දෙනවා. මේ වසරේදී ලැප්ටොප් පරිගණක ලබාදීමේ කාලය අවසන් කළ පසුව 2017, 2018 වසර වලදී මෙම ක්‍රමයෙහි සාර්ථක අසාර්ථක බව පිළිබදව පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දෙන ලෙසට ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

 

ලැප්ටොප් පරිගණක යන්ත්‍රවලින් බොහෝ දේ කළ හැකියි. ඒ වගේම විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සඳහා අප තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ශිෂ්‍ය ව්‍යාපෘති සදහා ලබන අධ්‍යයන වසරේ සිට රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කර තිබෙනවා. හොඳ ව්‍යාපාති සාර්ථක කර ගැනීම සදහා මෙයින් මුදල් ලබාගත හැකියි. ඇතැම් විට ව්‍යාපෘති සදහා රුපියල් විසිපන්දහසක් , පනස් දහසක් ඇතැම් විට ලක්ෂයක් අවශ්‍ය වේවි. ඒ පිළිබදව වැඩි දුර තොරතුරු පසුව දැනුම් දෙන්නම්. ශිෂ්‍ය ව්‍යාපෘති වැඩසටහනින් මෙන්ම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර යොදාගෙන තමන්ගේ දක්ෂතා දැක්වීමට සිසුනට හැකියාව තිබෙනවා.

 

මීට අමතරව පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියනයක මුදලක් මේ වසරේදී  වෙන් කර තිබෙනවා. ඒ මුදල තවත් වැඩි කිරීමට අප කටයුතු කරනවා. ඊට අමතරව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් තවත් මුදල් වියදම් කරනවා. තාක්ෂණය මෙන්ම දැනුමද අප දියුණු කළ යුතුයි. අප මේ සියලූ දේ කරන්නේ අධ්‍යාපනයේ විශාල විප්ලවයක් ඇති කිරීම සඳහායි. අප වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. ඊට අවශ්‍ය මූලික සැලසුම් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැකසෙමින් පවතිනවා.  එය ක්‍රියාත්මක කිරීමට වසර දෙක තුනක් අවශ්‍යයි. විද්‍යා ධාරාව ඔස්සේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා ප්‍රමාණවත් තරමින් ගුරුවරුන් නැහැ.

 

මීට අමතරව තවත් 2,000 කට පමණ වෙනම උපාධි ලබාගැනීම සඳහා වැඩසටහන් සැකසීමට අප අදහස් කරනවා. විද්‍ය, ගණිත ගුරුවරුන් ප්‍රමාණය වැඩි කිරීම අත්‍යවශ්‍යයි. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය තවත් වසර දෙක තුනක් යනවිට සමත් අසමත් බව මනින විභාගයක් නොවේ.  අප ඒ සදහා ප්‍රතිපත්ති ගෙන එනවා. එවිට සෑම දෙනාටම තවත් ඉදිරියට යා හැකියි. ඒ යුගය වනවිට විශ්ව විද්‍යාලයට වැඩිපුර සිසුන් ප්‍රමාණයක් ඇතුලත් කර ගැනීමට වැඩපිළිවෙල අප සැකසිය යුතුව තිබෙනවා.

 

අප ඉගෙන ගන්නා යුගයේදී මමත් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් 18 වන වියට එළඹෙන විට පාසල් අධ්‍යාපනය අවසන් කොට විශ්ව විද්‍යාල ජීවිතයට පිවිසුණා. වයස 21 වන විට විශ්ව විද්‍යාල දේශපාලනය අවසන් කර රටේ දේශපාලනයට පැමිණියා. නමුත් අද තත්වය මීට වෙනස්. බොහෝ සිසුන් වසර ගණනාවක් විශ්වවිද්‍යාල දේශපාලනයේ හිරවී සිටිනවා. අප විශ්වවිද්‍යාල දේශපාලනය ඉක්මනින්ම නිමා කොට පැමිණ රටේ දේශපාලනයට හිරවී සිටිනවා.

 

සිසුන්ගේ වයස අවුරුදු 22 ක් 23ක් වන විට විශ්ව විද්‍යාල ජීවිතය නිමා කොට ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගත යුතුයි. එසේ නොවූව හොත් ජීවිතයේ වටිනාම කාලය තමන්ට අහිමි වී යනවා. 26, 27 යන වයසට පැමිණෙනවා යනු තමන්ට ඇති අවස්ථා අඩුවීමයි. ඒ වගේම විභාගය සඳහා ගත වන කාලය අඩුකළ යුතුයි. අධ්‍යාපනය ලබන කාලය වැඩිකළ යුතුයි. මේ විශාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා අප මුදල් සෙවිය යුතුව තිබෙනවා. මෙරට ජාතික ආදායම දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 11 ක් පමණයි. මේ තත්ත්වය ඉදිරියට ගෙන යන්න බැහැ. ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් හෝ සියයට 16ක් බවට පත්කළ යුතුයි.

 

විශේෂයෙන්ම අප අධ්‍යාපනය සදහා අවශ්‍ය සියලූම මුදල් ආධාර ලබා දෙනවා. එයින් ඔබ උපරිම ප්‍රයෝජනය ගත යුතුයි. අප මේ සියලු මුදල් ඔබ වෙනුවෙන් ආයෝජනය කරන්නේ ඇයි මෙරට අනාගතය ඇත්තේ ඔබගේ අතේයි. ඔබ ලබන අධ්‍යාපනයෙන් මෙරට අනාගතය තීරණය වනවා.  ඊළග වසර 30, 40 ඇතුලත කාලයේ අනාගතය තීරණය කරන පිරිස මෙහි සිටිනවා. එම නිසා අප ලබාදෙන අවස්ථාවලින් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගන්න.

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පක්ෂ දෙකේ සහයෝගයෙන් අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ රට මුහුණ දෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමටයි. වසර දෙක තුනක් හෝ කැපකර ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාගත යුතුයි. ඒ විසඳුම් ලබාගත් පසුව අපට ඉදිරියට යා හැකියි. අනාගත පරපුරට කරන ආයෝජනවලින් සම්පූර්ණ ප්‍රතිපල ලබාගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා. “

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles