Friday, May 3, 2024

සල්ලි ඉතුරු කරන්න පා පැදියෙන් වැඩට එන්න! – මහින්ද අමරවීරගෙන් කැබිනට් පත‍්‍රිකාවක්

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පාපැදිවලින් රාජකාරියට පැමිණෙන සේවකයන් සඳහා ප්‍රවර්ධන ප්‍රතිලාභ ලබාදීමේ නියාමන වැඩසටහනක් ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අද (26) පෙරවරුවේ පාපැදි භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පාපැදි භාවිතා කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48 ක් ඉතිරි කර ගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98 ක් බවයි.

වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝ මීටරයක් සඳහා රුපියල් 103. 56ක් වැය කිරීමට සිදුවන බව සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇතැයි පරිසර ඇමතිවරයා පවසා සිටියා.

ඒ අනුව මේ වනවිටත් පරිසර අමාත්‍යවරයා වශයෙන් වායු දූෂණය අවම කර ලීමේ එක් පියවරක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවත් මහින්ද අමරවීර මහතා කියා සිටියා.

වායුදූෂණය අවම කර ගැනීමට හැකිවීම, කාලය අපතේ යාම වළක්වාගැනීම මෙන්ම පාපැදිය භාවිතා කිරීම නිසා බෝ නොවන රෝග රැසක් පාලනය කර ගැනීමට ඇති හැකියාව නිසා පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභ ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වාදීමට ද තීරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles