Sunday, May 19, 2024

සහරාන් සිදුකළ තවත් බෝම්බ ප්‍රහාර කිහිපයක් ගැන අනාවරණයක්

2018 වසරේ පෙබරවාරි 6, 12, 2018 වසරේ අගෝස්තු 26 සහ 2019 පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ පිපිරීම්වල නඩු භාණ්ඩ එකිනෙකට සැසඳෙන බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

2018.02.06 වන දින පල්ලිය පාර නව කාත්තන්කුඩි ලිපිනයේ පදිංචි අබ්දුල් මොහොමඩ් ෆර්හාන් යන අයගේ නිවසට හා 2018.02.12 වනදා සී.බී කාසින් පටුමග කාත්තන්කුඩි 01 ස්ථාපිත කර තිබූ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පක්ෂ කාර්යාලයට බෝම්බ ප්‍රහාර 2ක් එල්ල කිරීම සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලීසිය මගින් මූලික විමර්ශනයක් සිදුකර මඩකලපුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

මෙම සිදුවීම්වලට අදාළව මඩකලපුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් අපරාධ ස්ථානයේ තිබූ බෝම්බ කොටස් ඇතුළු නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත.

ඒ අනුව 2018.12.04 වන දින රජයේ රස පරීක්ෂක විසින් වාර්තා කර ඇත්තේ අදාළ නඩු භාණ්ඩ කොටස් කාල බෝම්බ 2ක කොටස් බවය.

ඉහත බෝම්බ සිද්ධීන්වල නඩු භාණ්ඩ සහ පාස්කු ඉරුදින බෝම්බ පිපිරවීමේ සිද්ධිවල නඩු භාණ්ඩ සමග සැසඳෙන්නේදැයි යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් කර තිබූ අතර එම වාර්තාව නිකුත්වීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත.

එසේම ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ එස්. සම්සුදීන් නමැති ඉන්දීය ජාතික පුද්ගලයාගේ ජංගම දුරකථනයේ තිබී සොයා ගන්නා ලද මුජහිදීන් ෆෝ අල්ලා නමැති වට්ස්ඇප් ගිණුම හා සම්බන්ධ ලාංකීය දුරකථන අංක 702ක් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලැබූ පුළුල් විමර්ශනයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඉහත සිදුවූ බෝම්බ ප්‍රහාර දෙකම සහරාන් කණ්ඩායමේ අනුගාමිකයන් විසින් සිදුකළ බවටද කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව මෙම සිදුවීම් සම්බන්ධයෙන් 2021.12.02 වන දින මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙන වැඩිදුර වාර්ථාවක් මගින් කරුණු ඉදිරිපත් කර ඇති අතර මෙම සිද්ධීන්ට අදාළව සැකකරුවන් තහවුරු කරගැනීම සඳහා ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශන ආරම්භ කිරීමත් සමග මෙම සිද්ධීන්වල නඩු භාණ්ඩ සැසදීම සිදුකර තිබුණි.

Ada Derana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles