Saturday, May 4, 2024

සෝභිත හිමි ගැන කතානායක තෙලිතුඩ අවදි කරයි

ශ්‍රී ලාංකිය භික්ෂු වංශ කථාවෙහි අප යුගයෙහි වාදිභසිංහයාණන් වහන්සේ වශයෙන් විරුදාවලිය ලැබූ අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ, අති පූජනීය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ 74 වන ජන්ම දිනය මෙම මැයි මස 29 වන දිනට යෙදී තිබේ.

අප මාහිමියෝ අපවත් වී‍ෙ යැයි මම කිසිසේත් නොසිතමි. උන්වහන්සේ තවමත් අප අතර ජීවමානව සිටින සෙයක් මට දැනේ  මෙම යුගයෙහි සමාජ යහපත පිණිස වූ සෑම  ක්‍රියාමාර්ගයකදීම උන්වහන්සේ නායකත්වය ගත්හ.

උන්වහන්සේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූහ. ඒ වෙනුවෙන් ජනතාව ඒකරාශී කළහ. ජනතාව වෙනුවෙන් විදී සටන් වලට නායකත්වය දුන්නහ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ජනතා පරමාධිපත්‍යය රැකදීම වෙනුවෙන් ඉදිරියට තැබූ  අඩිය ආපසු නොගත්තහ. අවසානයේදී උන්වහන්සේ සාධාරණ සමාජයක් වෙනුවෙන් එක් වෙයවු යැයි හඬ නැගූහ. ඒ අන්දමින්ම සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය උත්පත්තිය ලැබීය ජනතාව ඒකරාශී කර ගනිමින් ගෙන ගිය සටන වත්මන් යුගයට අවශ්‍යය මූල බීජ ජනිත කිරීමට සමත් විය. උන්වහන්සේ විඳි දුක් ගැහැට අනන්තය, අප්‍රමාණය. පැමිණි චෝදනා නිමක් නැත. ඒ කිසිවකින් නොසැලෙන මහා තාධිගුනයකින් සහ උපේක්ෂාවෙන් අප මා හිමියෝ අද්විථිය වුහ.

 

අමද්‍යප ව්‍යාපාරයේ අපදුටු  බලවත්ම නායකයාවූ උන්වහන්සේ . සුරාවෙන් සූදුවෙන් මුළු මහත් ජාතිය මුදවා ගැනීමට කටයුතු කළ නූතන ධර්මපාලතුමන් වූහ. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, එෆ්. ආර්. සේනානායක, ඩී. බී. ජයතිලක වැනි මහා පෞරුෂයයන්ගේ සහ අති පූජ්‍ය කළුකොඳයාවේ ශ්‍රි පඤ්ඤාසේකර නාහිමියන් ඉදිරියට ගෙන ආ  අමද්‍යප ව්‍යාපාරය මෙහෙයවිමේ වගකීම උරමතට ගත්තේ අපේ සෝභිත නාහිමියෝය. ජන්මයෙන්ම උරුම වූ චතුර කථිකත්වය ජාතියට දායාද කරමින් රටේ තරුණ පරපුර රැක ගැනීමට  සෝභිත හිමියෝ ගත් වෙහෙස මහන්සිය සුළුපටු නොවේ.

අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේ අපේ රටේ වර්තමානයේ වැඩ සිටි විචිත්‍රතම ධර්මදේශකයාණන් වහන්සේය. උන්වහන්සේ නොවැඩිය ගමක්, නොවැඩිය පන්සලක්  නොමැති තරම්ය. සෝභිත හිමියන්ගේ ධර්මදේශනා ශ්‍රවණය කීරිමට  ජනතාව දස දහස් ගණනින් ඒකරාශී වූහ. උන්වහන්සේ සියුම් උපමා උපමේයන් භාවිතා කරමින් සිය වාග් විලාශය හැසිරවූ ආකාරය ආශ්චර්‍යය ජනකය

අපේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ නායකයන්  අතර නායකයෙකි. විය. මා එසේ සඳහන් කරන්නේ  උන්වහන්සේට අනන්තවත් නායක පදවි ලැබුණද ඒ සියල්ල ප්‍රතික්ෂේප කල නමුත් සැම විටම සංඝ සමාජය උන්වහන්සේට මුලසුන පිරිනැමූ නිසාය. නායක පදවි නැතත් ජනතාව අපේ නායක හාමුදුරුවන් යැයි උන්වහන්සේට සැමවිටම හදපිරි ගෞරවයෙන්  ආමන්ත්‍රණය කළහ.

මා දකින උන්වහන්සේගේ කැපී පෙනෙන චරිත ලක්ෂණයක් වූයේ ලෞකික වශයෙන්ද දුකින් පෙළෙන ජනතාව ඒ දුකින් මුදා  සුඛිත මුදිත කිරීමට තිබූ උවමනාවය. නැති බැරිකම් කියාගෙන පන්සලට නිතිපතා එන ජනතාවට පිළිසරණක් විම අප මාහිමියන්ගේ සිරිත විය. සුනාමි ව්‍යසනය සිදූ වූ අවස්ථාවේදී සියලු දේ පසක දමා ඉදිරියට ආ ප්‍රථම භික්ෂූන් වහන්සේ ලෙස මම සෝභිත හිමි ගැන සිහිපත් කරමි.

සෝභිත හිමිපාණන් වහන්සේ  විල්පත්තුව අභය භූමිය ආසන්න, අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ “ඇලපත් ගමෙහි” අහිංසක ජනතාව ආරක්ෂා කරමින් ඔවුන්ට පිළිසරණක් වීමට සහ එම ගම සංරක්ෂණය කිරීමට කටයුතු කලහ.

විද්‍යාලංකාර පිරිවෙනින් ලැබූ ප්‍රගතිශීලී පියසටහන් සමඟ සමාජ විප්ලවයක් කළ උන්වහන්සේ නිහතමානීත්වයෙන් පරිපූර්ණ  නියම බුද්ධ පුත්‍රයෙකු වූහ.

කෙතරම් කටයුතු තිබුණද විහාරස්ථානය ගැනත්, දායකයින් ගැනත් නිරන්තරයෙන් සොය බැලු උන්වහන්සේ අලුයම 04.00 ට පිබිදී විහාරයට ගොස් ආගමික වැඩ කටයුතු සියල්ල අකුරටම සිදු කළහ.

 

ගුරුවරයෙකු, පරිවේනාධිපතිවරයෙකු ලෙස විශිෂ්ට මෙහෙවරක් සිදු කළ අපේ නාහිමියන් සියලුම නිකායික ස්වාමීන් වහන්සේලා හට ගෞරව කළහ. සියළු නිකායික භික්ෂුන් වහන්සේලාගෙන් ගෞරව ලැබූහ.දේශ දේශාන්තරවල ප්‍රකට වූ භික්ෂු චරිතයක් ලෙස සෝභිත හිමියන් හඳුන්වා දීමට හැකිය.

පාදුක්ක මාදුළුවාව වැනි ගමක සාමාන්‍ය පවුලක උපත ලබා ගමට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාද්වීපයටම මහත් වූ ගෞරවයක් ගෙන දෙමින් සසුන් කෙත සරු කළ මා මහත් සේ ගරු කළ, ආදරය කළ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ අප කිසිවෙකු නොසිතූ අන්දමට වෙන් වූහ. ඒ පාඩුව, ඒ පාලුව තව තවත් පරම්පරා ගණනක් යන තුරා පවතීනු ඇත.  එබැවින්, මුළු මහත් සමාජයටම උදාර වූ සේවාවන් රැසක් සිදුකළ උන්වහන්සේගේ ශ්‍රී නාමය ඉදිරියටද පවත්වාගෙන යාම සඳහා අති පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක මාහිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන් ශ්‍රී සෝභිත ගුණානුස්මරණ පදනම ආරම්භ කරන ලදී. ඉන් අප බලාපොරොත්තු වන්නේ උන්වහන්සේ මුළු මහත් ජීවිතය කැප කරමින් ආරම්භ කළ සාධාරණ සමාජය ඇති කිරීමටය.  උන්වහන්සේගේ ශ්‍රී නාමය අපි සදා අනුස්මරණය කරන්නෙමු.

උන්වහන්සේගේ ජන්ම දිනය යෙදෙන මැයි 29 වන දින ඇලපත්ගම සංවර්ධනය කිරීමට අපි කටයුතු කර ඇත්තෙමු. එම ගමේ ජීවත් වන අහිංසක ජනතාවගේ ජීවන තත්වය නංවාලීමට අවශ්‍ය පියවර ගන්නෙමු.  කිසිදා නොමැකෙන මාදුළුවාවේ ශ්‍රී සෝභිත නාහිමියන් ගෙන ගිය වැඩ පිළිවෙල අප අත් නොහැර ඉදිරියටම පවත්වාගෙන යාම අපේ අධිටනය.

අපවත් වදාල අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිපාණන් වහ්නසේගේ 74 වන ජන්ම සංවත්සරය සිහි කෙරනෙ මේ මොහොතේ උන්වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවායි හද පත්ලෙන්ම ප්‍රාර්ථානා කරමු.
කරූ ජයසූරිය

කතානායක

ශ්‍රී සෝභිත ගුණානුස්මරණ පදනමේ ප්‍රධාන අනුශාසක.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles