Sunday, May 19, 2024

හවුල් ආණ්ඩුවේ දෙදරීම අරඹයි, කැබිනට් රැස්වීමේ කාලගෝට්ටි [Exclusive]

සම්මුතිවාදී යැයි කියමින් ආරම්භකල එක්සත් ජාතික පක්ෂ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවේ පලමු මහා පරිමාණ දෙදරා යාම ඊයේ කැබිනට් රැස්වීම සමගින් ආරම්භවිය. ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් පැවති කැබිනට් රැස්වීම එකම කාලගෝට්ටියක් බවට පත්වී අවසන් විය.

ඇවන්ට් ගාර්ඩ් සිදුවීම පදනම් කරගෙන අමාත්‍ය රාජිත සේනාරත්න සහ අමාත්‍ය පාඨලී චම්පක රණවක අතර උණුසුම් කතා බහක් ඇතිවී ඇති අතර අවසානයේ එය අතපය විසිකරන තත්වයටම දුරදිග ගිය බැවින් කැබිනට් රැස්වීම අතරතුර කීප වතාවක්ම ජනපතිවරයා ඉන් පිටව යාමටද උත්සහ දරා ඇතිබව වාර්තාවේ.

කැබිනට් රැස්වීමේදී එ.ජා.ප සහ ශ්‍රී.ල.නි.ප පාර්ශව සහ අනෙකුත් පක්ෂවල ඇමතිවරු ඉතා උණුසුම් ලෙස වචන හුවමාරු කරගනිමින් ආණ්ඩුව තුල තවදුරටත් සම්මුතිවාදයක් ඉතිරිව නැතිබව පෙන්වා දෙන ලදි.

Rajitha_patali

විශේෂයෙන්ම පසුගිය දිනවල HNDA සිසුන්ට එල්ලකල අමානුෂික ප්‍රහාරය, කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම, ලසන්ත සහ ප්‍රගීත් ඝාතන සම්බන්ධ පරීක්ෂණ නවතා දැමීම යන කාරණා පදනම් කරගෙන කැබිනට් රැස්වීම තුල පාර්ශව දෙකක් ලෙස මත දැක්වීම නිසා තව දුරටත් වත්මන් හවුල් ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි තත්වයක් උද්ගතව ඇත.

ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආසන්නව තිබියදී එම පරීක්ෂණ සියල්ල නවතා දමා ඇති බවට මින් පෙර CIA පලමුවරට අනාවරණය කරන අතර එය ඊයේ කැබිනට් රැස්වීමේදී සිදුවූ කාලගෝට්ටියටද හේතුවක් වීම තුලින් තවත් සනාථ වේ.

කෙසේ වෙතත් ඉදිරියේදී හවුල් ආණ්ඩුවේ ප්‍රබල වෙනස්කම් සිදුවිය හැකි බවට වාර්තාවන අතර විපක්ෂයේ මැදිහත්වීමකින් තොරවම ආණ්ඩුව ඇතුලත ගැටුම් හේතුවෙන් රජයේ ස්ථාවරත්වය නියත වශයෙන්ම බිඳවැටෙමින් පවතින බව වාර්තා වේ.

 

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles