Monday, April 29, 2024

ගෑස් මාෆියාවක් ගැන ලිට්‍රො සභාපතිගෙන් හෙළිදරව්වක්

වෙළෙඳපොළේ හට ගත් ගෑස් හිඟය කෘත්‍රීමව නිර්මාණය කළ එකක් බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද (05) ප්‍රකාශ කළා.

මෙරට ගෑස් වෙළෙඳපොලේ ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බවත් එක කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳපොල පාලනය කරමින් වෙනත් කිසිවකුට පැමිණීමට ඉඩ නොදෙන බවත් ‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපතිවරයා පැවසීය.

එම කණ්ඩායම පසුගිය වසර අවුරුදු 10 ක කාලය තුළ ගෑස් වෙළෙඳපොලේ වෙනත් කිසිවකුට ගෑස් විකිණීට ඉඩ නොදුන් බව කී සභාපතිවරයා එම ඒකාධිකාරිය කවුරු හෝ වෙනස්කිරීමට උත්සහ කළ හොත් එම පුද්ගලයාට හෝ ඒ ආයතනයට එරෙහිව කටයුතු කිරීම ඔවුන්ගේ පිළිවෙත බව ද සඳහන් කළේය.

එම කණ්ඩායමට පක්‍ෂය හෝ ආණ්ඩුව අදාල නොවන බවත් රාජ්‍ය ආයනයක් ලෙස ලිට්‍රෝ සමාගමට වැඩ කිරීමට නොදෙන බවත්හෙතෙම කීය.
‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය අද (5) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එසේ පැවසීය.

ගෑස් නැව වරායට පැමිණ තිබුණට කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දික්කරන්නේ නැත්නම් ගෑස් දෙන්න නෑ කියලා ඔවුන් තර්ජනය කළ බව කී සභාපතිවරයා පැවසුවේ එම තත්වය හමුවේ ප්ලාන්ට් එක වසාදැමීම නිසා පසුගිය මස 28 වැනිදා සිට මේ මස 1 වැනිදා දක්වා ගෑස් නිකුත් කිරීමට නොහැකි වූ බවත්ය.

ඔහු පවසන්නේ හිටපු සභාපතිවරයා අත්සන් කළ එම ගිවිසුම නිසා ජාත්‍යන්තරයෙන් අඩු මුදලට ගෑස් මිලදී ගැනීමට නොහැකි වී ඇති බවය.

ලිට්‍රෝ ආයතනයට දැනට ගෑස් සපයන සමාගමේ තර්ජනයන්ට යටවී ගෑස් මිලදී ගැනීමේ ගිවිසුම තවත් වසර දෙකකට දීර්ඝකිරීමට සිදුවූයේ නම් රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බව ඔහු පවසයි.

මෙම තර්ජනය සමඟ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සහ අධක්‍ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙන තෙක් බලාසිටීමට සිදුවීමෙන් ගෑස් හිඟය ඇති වූ බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

“කාටවත් මේ ගෑස් වෙළෙඳපොළට එන්න දෙන්නේ නෑ. එක කණ්ඩායමක් විතරයි ගෑස් අලෙවි කරලා තියෙන්නේ. පක්ෂ ආණ්ඩු අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්. හොරුත් එක්ක සියලු දෙනාම ඉන්නවා. ඒක නිසා වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. පසුගිය 28 සිට මේ මස 01 වැනිදා දක්වා ගෑස් නිකුත් කරන්න බැරි වුණා. අපේ ප්ලාන්ට් එක වහන්න වුණා. ගෑස් පොඩ්ඩක්වත් අපි ළඟ තිබුණේ නැහැ. හේතුව, ගෑස් නැව වරායට ඇවිල්ලා තියෙද්දි ඔවුන් අපිට තර්ජනය කළා, ගෑස් දෙන්න බෑ…මේ කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දීර්ඝ කරන්නේ නැත්නම් කියලා. එයට අකමැතිවීම නිසාත් සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසාත් මට සිද්ධ වුණා ජනපතිතුමාගේ උපදෙස් ලැබෙනකම් ඉන්න. මේකට සම්බන්ධ වු පිරිසට ඕන වුණා මගේ අත්සනින් කොන්ත්‍රාත්තුව දීර්ඝ කරගන්න. මේ කොන්ත්‍රාත්තුව නිසා රටට නැතිවෙන සමස්ත මුදල ආසන්න වශයෙන් බිලියන 10ක් විතර වෙනවා.එවැනි මුදලක් කවුරුහරි කෙනෙක්ගේ අතට යනවා. ගිහින් නම් ඒක අතීතයෙත් සිද්ධ වුණානම් ඒ ලැබිච්ච අය සහ ලැබෙනකම් බලන් ඉන්න අය මටත් ලේසියෙන් ඉන්න දෙන එකක් නෑ. ඒකට අපි බය නැහැ. මේකෙදි ජනපති හා මහබැංකු අධිපති මැදිහත්වුණා, අවසන් වශයෙන් ලැබුණු නැව නිදහස් කරගන්න. ඒ නිසා පෙර පරිදි අපි නිෂ්පාදන කටයුතු ආරම්භ කළා. මේ ගැන කලින් කියන්න බැරිවුණ එක ගැන කනගාටුයි. හැබැයි මම සතුටු වෙනවා හොරකම වෙන්න දීලා කියනවාට වඩා හොරකම නවත්තන්න පුළුවන් වුණ එක ගැන. 

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, “කවුද මේක අත්සන් කරලා තියෙන්නේ ?”

තෙෂාර ජයසිංහ මහතා – අත්සන් කරලා තියෙන්නේ 2020.02.28 වැනිදා. දැන් පවතින කොන්ත්‍රාත්තුව අවුරුදු 2ක් තියෙනවා. කල් ඉකුත් වෙන්නේ 2022.02.28.

මාධ්‍යවේදියෙක් – මේක ගිවිසුම්ගත වෙච්ච පුද්ගලයෝ කරපු වැඩක් ද?

තෙෂාර ජයසිංහ මහතා – මෙවැනි කොන්ත්‍රාත්තුවකින් වරප්‍රසාද ලබන අය ඉන්නවා. ලෝක වෙළෙඳපොළෙන් මීට වඩා අඩුවට, ඩොලර් 50 සිට ඩොලර් 200 දක්වා අඩුවට ලංසු ලබාගන්න පුළුවන්. දැනට වඩා ඩොලර් 100ක් අඩුවෙන් ගෑස් ලබාදෙන සමාගමක් සමග අපි කෙටි කාලීන ගිවිසුමකට එළඹිලා තියෙනවා. වැඩි මිලට ගන්නකොට ලාභයක් ලැබෙන තැනක් ඇති.

මාධ්‍යවේදියෙක් – ඒ කියන්නේ ඔබතුමාට පෙර හිටපු සභාපතිතුමාගේ කාලේ ගිවිසුම්ගතවීමත් එක්ක තමයි මේ වංචාකාරී ක්‍රියාව සිද්ධ වෙන්නේ ?

තෙෂාර ජයසිංහ මහතා – දැන් ක්‍රියාත්මක ගිවිසුමට එළඹිලා තියෙන්නේ 2020 මාර්තුවල. ඒ මට කලින් හිටපු සභාපතිවරයාගේ කාලේ.

මාධ්‍යවේදියෙක් – ඔබතුමත් මේ ආණ්ඩුවෙන්. එතුමත් මේ ආණ්ඩුවෙන් පත්වෙච්ච අය. හොරකම් කරන්නනේ මේ පත්වීම් දීලා තියෙන්නේ?

තෙෂාර ජයසිංහ මහතා – ජනාධිපතිතුමා මාව පත් කළේ ජනතාවට සේවයක් කරන්න. පසුගිය අවුරුදු 10ම අඩු මිලට අරගෙන නැහැ.

මාධ්‍යවේදියෙක් – දැන් ඔබතුමාලා ඔය සමාගම් දණ ගස්සවන්න ගිහිල්ලා අන්තිමේදි අර චීන පොහොර නැව ඇවිල්ලා මහජන බැංකුවට වෙච්ච දේ වගේ බ්ලැක් ලිස්ට් වුණොත්?

තෙෂාර ජයසිංහ මහතා – මං එයාලව බ්ලැක් ලිස්ට් කරන්න ඉඩ තියෙනවා. ඒ අයට අපිව බ්ලැක් ලිස්ට් කරන්න බෑ. අපි විසින් ඔවුන්ගෙන් අඩුවෙන්ම මිලදී ගතයුතු කියන ප්‍රමාණය අතිශයින්ම මාසික අවශ්‍යතාවට සමානයි. පසුගිය කාලයේ මම වැඩභාර ගන්නාවත් එක්කම ලාෆ් සමාගම ගෑස් නිකුත් කිරීම නැවැත්තුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles