Saturday, May 18, 2024

ලසන්ත ඝාතනය පරීක්ෂණ කොට උඩ!

ප‍්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ සඳහා යුද හමුදා බුද්ධි අංශ සහයෝගය ලබා නොදීමෙන් එම පරීක්ෂණ අඩාළ වී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පවත්වන ලද පොලිස් පරීක්ෂණවල දී පොලීසිය විසින් කන්දේගෙදර පියවංශ නම් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීම හා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් යුද හමුදා බුද්ධි අංශයට යොමු කරන ලදී.

යුද හමුදාව විසින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ලසන්ත ඝාතනය සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යෑම ගැටලූවක් වී ඇතැයි වාර්තා වේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය කන්දේගෙදර පියවංශ යන හමුදා බුද්ධි අංශ නිලධාරිවරයා 2009 වසරේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් ඉදිරියේ ඔහුගේ නිල කාමරයේ දී විශේෂ ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු ඇප මත නිදහස් කර ඇත.

ලසන්ත ඝාතනය සෙවීමේ පොලිස් කණ්ඩායම විසින් සිය පරීක්ෂණවල දී දුරකථන සිම් කාඞ්පත් කිහිපයක් සොයාගනු ලැබිණි. එම සිම් කාඞ්පත් ජේසුදාසන් නම් පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර ලබා ගත් ඒවා වූ අතර එම සිම් කාඞ්පත් ජේසුදාසන් විසින් කන්දේගෙදර පියවංශ ලබා දී ඇත.

රහස් පොලිස් භාරයේ පසු වූ ජේසුදාසන් ද අබිරහස් ලෙස මිය ගොස් ඇත. එයද සැකයට භාජනය වූ කාරණයකි.

මේ අතර ලසන්ත ඝාතනය පිළිබඳ එවකට ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති විසින් ලබා ගන්නා ලද වැදගත් සාක්ෂි රැසක් ද අතුරුදන්ව ඇත.
හිටපු පොලිස්පතිට චෝදනා 
ලසන්ත වික‍්‍රමතුංගට අයත් සටහන් පොතත් එම පොත සොයා ගැනීම හා එහි තොරතුරු පිළිබඳ ස්ථානාධිපතිවරයාගෙ ක්ෂේත‍්‍ර සටහන් පොතේ සටහන් කරගත් තොරතුරු සියල්ලත් මෙලෙස අතුරුදන්ව ඇත. මේ හේතුවෙන් හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න සාක්ෂි විනාශ කිරීමේ චෝදනාවට එල්ල වී ඇත.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මෙහෙයවන සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතාට එම පරීක්ෂණ නවතාදමන ලෙස බල කරමින් වරින් වර තර්ජනය කිරීම් සිදු කරන බවත් මේ නිසා පරීක්ෂණ කණ්ඩායම් දැඩි පීඩාවකට පත්ව ඇති බවත් දැනගන්නට ඇත.
(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles