Monday, May 6, 2024

දීපාවලි පණිවිඩ-සහජීවනය, සංහිඳියාව ගොඩනැඟීමට දැඩිව අදිටන් කර ගනිමු

සියල්ලන්ගේ සිත් සතන් තුළ සහජීවනයත්, සංහිඳියාවත් දල්වනු පිණිස අප වඩාත් දැඩිව අදිටන් කැර ගැනීම මෙවර දීපවාලී උළෙලේ අප සැමගේ ප්‍රාර්ථනාව විය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.දීපවාලී සැමරුම නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරයි.

එහි මෙසේ ද සඳහන් කැර තිබේ.

අන්ධකාරය රැගෙන එනු ලබන අයහපත ද, අවිද්‍යාව ද, අහිමිවීම් ද අතික්‍රමණය කරමින් ආලෝකය සොයා ගිය මිනිසා අයහපතට එරෙහිව යහපත ද, අවිද්‍යාවට එරෙහිව විද්‍යාව ද අහිමිවීම්වලට එරෙහිව විශ්වාසය ද ජය ගැනීමේ විශ්වීය සත්‍යය දීපාවලිය තුළ දිදුළන ආලෝකය වේ.

දශක කිහිපයක් තිස්සේ ඇදී ගිය අභ්‍යන්තර ගැටුමත්, ඒ මතින් පැන නැඟ සමාජය මත පැතිර තිබූ අන්ධකාරයත් පහව ගොස් ඇති මේ මොහොත අපට අපේ ජන සමාජය අන්ධකාරයෙන් ආලෝකය වෙත රැගෙන යාමට ලැබුණු අනගි අවස්ථාවක් ලෙසින් දකිමි.

එබැවින් සියල්ලන්ගේ සිත් සතන් තුළ සහජීවනයත්, සංහිඳියාවත් දල්වනු පිණිස අප වඩාත් දැඩිව අදිටන් කැර ගැනීම මෙවර දීපවාලී උළෙලේ අප සැමගේ ප්‍රාර්ථනාව විය යුතු යයි සිතමි.

සමගිය අද දවසේ සමස්ත ලෝකයේම පැවැත්ම සඳහා වන අනිවාර්ය කොන්දේසිය බවට පත්ව ඇති පසුබිම තුළ අන්‍යෝන්‍ය ලෙස වඩාත් දැඩිව බැ‍ඳෙමින් සැබෑ අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වේ.

දීපවාලී උත්සවය සමරන හින්දු බැතිමතුන්ට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

මෛත්‍රීපාල සිරිසේන

ප්‍රඥාවේ පහන් දැල්වීමට මාවතක් කර ගනිමු

– අගමැති

සියලූ භේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සාමයෙන්, සමඟියෙන් ජීවත්වන්නට ප්‍රඥාවේ පහන් දැල්වීමට දීපවාලී උත්සවය ආදර්ශයේ මාවතක්, අධිෂ්ඨානයේ අත්වැලක් කැර ගත යුතු යැයි දීපවාලී සැමරුම නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතාගේ දීපවාලී පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

ලොව පුරා හින්දු කෝවිල්වලද, මහා මන්දිර පැල්පත වෙනසක් නැතිව හින්දු බැතිමතුන්ගේ නිවෙස්වලද, ගෙවතු මංමාවත් ඔස්සේද සුවහසක් පහන් පේළි දැල්වෙමින් රැය ඒකාලෝක වෙයි. හින්දු බැතිමතුන් මහත් ප්‍රීතියෙන් සමරන, වසරකට වරක් එළඹෙන ඒ උත්කර්ශවත් සැමරුම දීපාවලී උත්සවයයි.

හින්දුන්ට වින කළ නරක අසුරයා පැරදවීම, රාම කුමරු වන වාසයෙන් මිදී සීතා සමඟ නැවත අයෝධ්‍යාවට පැමිණීම ආදී පුරාවෘත්ත සහ ආගමික පිළිවෙත් සමඟ බැඳී ඇති දීපාවලි උත්සවය තමන් තුළත්, සමාජය තුළත් පවතින අයහපත නමැති අන්ධකාරය පරදවා මිනිසා යහමඟට යොමුවීමේ වැදගත්කමද, සදාචාරසම්පන්න, යුක්තිගරුක, සාධාරණ සමාජයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවද නැවත නැවත අපට සිහිගන්වයි.

ලෝකය භෞතික වශයෙන් ඉතා විශිෂ්ට දියුණුවක් අත්පත් කැර ගනිමින් සිටියද, දයාව, කරුණාව, ඉවසීම, සමාව දීම, පරිත්‍යාගශීලීත්වය වැනි ගුණදහම් අතින් පරිහානියට පත්වෙමින්, මිනිස් සංහතියේ විනාශයට පාර කපා ගනිමින් සිටින බව අපි දකිමු. ජාතිය, ආගම, පක්ෂ, පාට ආදී සාධක මුල් කැර ගනිමින් මානව වර්ගයා භේද බින්න කරවන නපුරේ බලවේග මුළුමහත් සමාජය අන්ධකාරයට හෙළමින් පවතී.

භේදබින්න වීම පහසු දෙයකි. නමුත් සමගි සන්ධානයෙන්, එක්සත්, එක්සිත්ව යහපත උදෙසා කටයුතු කිරීම මහත් අභියෝගයක්ව පවතී. සියලූ භේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සාමයෙන්, සමඟියෙන් ජීවත්වන්නට ප්‍රඥාවේ පහන් දල්වාගත යුත්තේ එබැවිනි.

ඒ සඳහා දීපාවලි උත්සවය ආදර්ශයේ මාවතක්, අධිෂ්ඨානයේ අත්වැලක් කැර ගත හැකි බව සිහිපත් කරමින් දීපාවලී සමරන සැමට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles