Saturday, April 27, 2024

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයි!

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් කාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් ද සාකච්ඡා කරමින් සිටින බවයි ඇමතිවරයා කියා සිටියේ.

2023 වසර ආරම්භවීමට පෙර ලබන දෙසැම්බර් 22, 23 පමණ වන තුරු මෙම වසරේ පාසල් පැවැත්වීමට ඉඩ ඇතැයි කී ඇමතිවරයා දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් ලබාදී මෙම වසරේ විෂය නිර්දේශ ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළා.

2023 වසරට අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය සඳහා සහ නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රදානයන් ලෙස ලබාගැනීමට ද උත්සාහ කරමින් සිටින බවයි සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

ඇමතිවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර ජුනි 17 වනදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.

එම ඇගයීම් කටයුතු ජුනි 26 වනදා දක්වා සිදු කෙරේ. එහි දෙවන අදියර ජුනි මස 30 වනදා සිට ජුලි 09 වනදා දක්වා පැවැත්වෙයි.

ඔහු තවදුරටත් පැවසුවේ පාසල් 85ක ඇගයිම් මධ්‍යස්ථාන 106ක් ක්‍රියාත්මක වන බවය.

මෙවර අපොස සාමාන්‍ය පෙළ (2021) විභාග පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරු 32,368ක් සේවයේ යෙදවීමට නියමිතය.

මැයි 23 වනදා ආරම්භ කළ අපොස සාමාන්‍ය පෙළ (2021) විභාගය අද (01) නිමා වුණි.

ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසුවේ 2021 උසස් පෙළ පිළිතුරු පත්‍රවල ලකුණු ඇගයීම් ශාඛාව විසින් මේ වනවිට පරිගණක ශාඛාවට යවා ඇති බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා, “සාමාන්‍යයෙන් දෙසැම්බර් විභාගය තිබ්බාම සිංහල අවුරුද්දට කලින් ප්‍රතිඵල දෙනවා කියල නේ කියන්නේ.

හැබැයි මෙවර එහෙම්ම ම කරන්න පුළුවන් වෙයිද දන්නෑ. මොකද ඒකට හේතුව දැන් අපි භාගෙට නතර කරලා තියෙන්නේ උසස් පෙළ.” “සාමාන්‍ය පෙළ ඉවර වුණා.

දැන් ආපහු පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව යන්න ඕනේ උසස් පෙළ ප්‍රතිඵල දෙන්න.”

“උසස් පෙළ ලකුණු ටික දැන් ඇගයීම් ශාඛාවෙන් ලබාදීලා තියෙනවා පරිගණක ශාඛාවට.

ඒ දෙන අතරේ තමයි මේ ප්‍රතිඵලයත් එන්නේ. ඒ අතරෙම තමයි එන උසස් පෙළ සහ ශිෂ්‍යත්වයත් සංවිධානය වෙන්නේ.” “ප්‍රතිඵල දෙන්න තියෙනවා දැන් විභාග දෙකක.

මේ සාමාන්‍ය පෙළ සහ පසුගිය උසස් පෙළ.” “මෙහෙම යන අතරේ දෙසැම්බර් තියෙන සාමාන්‍ය පෙළ ආයේ පවත්වන්න වෙයි පෙබරවාරි මාර්තුවල.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles