Friday, April 26, 2024

තලෙයිබාන් සංවිධානයේ අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙයි – ප්‍රධානියෙකු ඝාතනය කෙරේ.

තලෙයිබාන් සංවිධානයෙන් වෙන්ව සිටි එම සංවිධානයේ ප්‍රධානියෙකු වන මව්ලාවි මුජාහිඩ් නමැත්තා ඝාතනය කර තිබෙනවා.

ඒ තලෙයිබාන් සංවිධානයේ දේශසීමා ආරක්ෂක හමුදාව විසින්.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉරානය වෙත යාමේ අපේක්ෂාවෙන් ඇෆ්ගනිස්තානයේ හේරාට් ප්‍රාන්තය හරහා ගමන් කරමින් සිටියදී ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉරානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමා ආරවුලක් හටගෙන ඇති පසුබිමක් තුළ වීම විශේෂත්වයක්.

එමෙන්ම පවතින දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය සමග සාකච්ඡා කිරීම සදහා ඉරානයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුලු පිරිසක් ද ඇෆ්ගනිස්තානය වෙත පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඝාතනයට ලක්වූ මව්ලාවි මුජාහිඩ් අවස්ථා ගණනාවකදී තලෙයිබාන් සංවිධානය සමග ගැටුම් ඇති කර ගෙන ඇති බවයි.

එමෙන්ම තලෙයිබාන් රජයට එරෙහිව ආයුධ අතට ගත් හසාරා ජන කොට්ඨාශය නියෝජනය කරන තලෙයිබාන් ප්‍රධානියා වන්නේ ද මව්ලාවි මුජාහිඩ්.

ඔහු තලෙයිබාන් සංවිධානය සමග එක්ව තිබුණේ මීට වසර 13 කට පෙරයි.

අනතුරුව ඔහු විදෙස් හමුදාවට එරෙහිව සටන් මෙහෙයවූ තලෙයිබාන් ප්‍රධානියෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

එහෙත් තලෙයිබාන් සංවිධානය මින් පෙර අවස්ථාවේදී ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගෙන මාස 10 ක් පමණ ගතවන විට මව්ලාවි මුජාහිඩ්, තලෙයිබාන් සංවිධානය විවේචනය කිරීම ආරම්භ කර තිබුණා.

එයට හේතු වී ඇත්තේ තලෙයිබාන් සංවිධානයට ඇෆ්ගනිස්තානයේ හසාරා ප්‍රජාව නියෝජනය කරන පිරිස් වැඩි වශයෙන් බදවා ගත යුතු බවට මව්ලාවි මුජාහිඩ් යෝජනා කිරීමයි.

ඊට තලෙයිබාන් නායකයින් ඊට විරෝධය පල කර තිබෙනවා.

ඉන්පසුව මව්ලාවි මුජාහිඩ් දිගින් දිගටම තලෙයිබාන් සංවිධානය සමග ගැටුම් ඇති කර ගෙන ඇති අතර ඔහු ඝාතනයට ලක්ව ඇත්තේ එවන් පසුබිමක් තුලයි.

තලෙයිබාන් සංවිධානය ඔහුව හදුන්වා ඇත්තේ කැරලිකරුවෙකු ලෙසයි.

මුජාහිඩ් ඝාතනය කළ බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කර ඇති නමුත් ඒ කවදා ද යන්න නිවේදනය කර නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles