Friday, April 26, 2024

“දැන් DRAFT එකද ඕනේ ඔයාට ?” – සර්ව පාක්ෂික සමුළුවෙිදී රනිල් – බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක්

අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී උණුසුම් වචන හුවමාරුවීම් අවස්ථා කිහිපයකදී ඇති විය.

එහි පළමු සිද්ධිය වී ඇත්තේ උදෑසන ආරම්භයේදීම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එජාප නායක, රනිල් වික්‍රමසිංහ අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

ඉන්පසුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයන් ඇති කර ගැනීමට අදාළව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ලබා දෙන බවට පොරොන්දු වූ වාර්තාව මෙතෙක් ලබා දීමට අපොහොසත් වීම එයට පාදක විය.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව කටයුතු කිරිම සම්බන්ධයෙන් නිකුත් වූ වාර්තාව අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියත් එය නොලැබුණු බවත් අද හෝ එය ලබාදෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිට ඇති අතර මුදල් අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව නොලැබුණු බවය.

එහිදී පුන පුනාම මුදල් අමාත්‍යවරයා දිගින් දිගටම කියා සිටියේ එවන්නක් ලැබී නැති බවයි.

එම වාර්තාව ලබාදුන් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බැවින් එය නිරාකරණය කරගැනීමට එම අරමුදලේ මෙරට නියෝජිතයා සර්ව පාක්ෂික කමිටුව ඉදිරියට කැදවිය හැකි බවයි ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

එවිට මුදල් ඇමතිවරයා පැරවසුවේ එහි දළ සැලැස්ම ලැබී ඇති බවත් එය ලබා දිය නොහැකි බවත්ය.

මෙතෙක් කල් එවන්නක් හෝ ලැබී නැති බව පැවසූවත් දැන් එවැන්නක් ලැබී ඇති බව පවසන බවත් එය පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නම් සුදුසු බවද හිටපු අගමැතිවරයා එහිදී පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව නිකුත් කර ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා නැවත ප්‍රකාශයත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර අවසානයේ අදාළ වාර්තාවේ කෙටුම්පත මේ වන විට තමන්ට ලැබී ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පිළිගත්තේ වික්‍රමසිංහ මහතාගේ තර්ක කිරීම් මධ්‍යයේයි.

කෙසේවෙතත් ඊට අදාළ කිසිඳු වාර්තාවක් තමන්ට මේ වන තෙක් ලැබී නොමැති බව මීට පෙර ආණ්ඩුව ප්‍රකාශ කර සිටියේය.

ඔවුන් දෙදෙනා අතර ඇතිවූ සංවාදය පහතින්,

රනිල් වික්‍රමසිංහ – රජයෙන් කිසිම විනිවිදභාවයක් හෝ කැපවීමක් අද වන තුරු අප දැකල නැහැ. අදාළ දත්ත අපට ලබා ගැනීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා. ඇත්තවශයෙන්ම මේක අපිට පොරොන්දු වුණා කිහිප අවස්ථාවකදී”. මම හිතන්නේ මේ සමහර පක්ෂ මෙතනට නොපැමිණියේ මේ හේතුව නිසා.

එයට පිළිතුරු දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,

බැසිල් රාජපක්ෂ – සමාවෙන්න, IMF වාර්තාව අපිට තාම සම්පූර්ණයෙන් ඇවිත් නෑ.

රනිල් වික්‍රමසිංහ – එයාල කියල තියනවා එව්වා කියලා

බැසිල් රාජපක්ෂ – නෑ නෑ අපිට ඇවිල්ල නෑ.

රනිල් වික්‍රමසිංහ – එහෙනම් අපි අහමු. මම හිතන්නේ ජනාධිපතිතුමා දැන් හරි එතන කිව්වොත් අපිට මේක කතා කරලා විසඳගන්න පුළුවන්. නියෝජිතයාට එන්න කිව්වොත්, ඒක නැත්තන් මම පිළිගන්නවා.

බැසිල් රාජපක්ෂ – මම වගකීමකින් කියනවා අපිට තාම වාර්තාව ඇවිල්ල නෑ.

රනිල් වික්‍රමසිංහ – එයාල එවල නැත්තන් අපි කියමු එවන්න කියලා

බැසිල් රාජපක්ෂ – නෑ ඉතින් අපි ඒක යවල තියනවා. අපිට DRAFT එක එවල තියනවා.

රනිල් වික්‍රමසිංහ – ආ..DRAFT එක ආවා. DRAFT එක එවල තියනවා.

බැසිල් රාජපක්ෂ – DRAFT එකනේ එවන්නේ මුලින්. ඊට පස්සේ ඒකෙ රිපෝර්ට් එක ෆයිනලයිස් කරලා බෝඩ් එකට දාල ඒ කට්ටිය එවයි

රනිල් වික්‍රමසිංහ – ඔබතුමා පිලිගන්නවා DRAFT එක ආවා කියල, මෙතෙක් කල් කිව්වේ ආවේ නෑ කියලා.

බැසිල් රාජපක්ෂ – DRAFT එකක් මුලින් ඉතින් අපි එක්ක සාකච්ඡා කරන DRAFT එක. ඔබතුමා දන්නවනේ මට වැඩිය හොඳට

රනිල් වික්‍රමසිංහ – කමක් නෑ .DRAFT එකක් ආව නම් අපිට දෙන දවසක්.

බැසිල් රාජපක්ෂ – දැන් DRAFT එකද ඕනේ ඔයාට ?

රනිල් වික්‍රමසිංහ – මට කමක් නෑ දෙනවා නම් ඒක පාර්ලිමේන්තුවට දෙන්න

බැසිල් රාජපක්ෂ – DRAFT එක දෙන්න බෑ.

අදාළ වීඩියෝව පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles