Friday, April 26, 2024

Into The Wild (2007) හොඳ චිත්‍රපටයක් බලමු…

සුවිශේෂී චරිතයක් ආශ්‍රයෙන් තැනුණ බයෝග්‍රැෆි චිත්‍රපටයක් නරඹන අතරවාරයේදී එම චරිතය නිරූපණය කරන රංගන ශිල්පියා තුළින් ඒ සැබෑම මිනිසාගේ හද ගැස්ම පවා ඇහුණ දුර්ලභ සිනමා අත්දැකීමක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ලොව පවතින තාක් කල් පැවතිය යුතු චිත්‍රපටයක් විදිහට ඇත්තටම මේ නරඹන්නට ලැබෙන්නේ පිටපතකට අනුව සැකසුණු දර්ශන පෙළක් නොව සැබෑවටම පටිගත වූ වීඩියෝ ඩයරි ෆූටේජ් එකක් කියලත් හිතෙනවා. ජීවිතයේ අතිශය තරුණ වියකදී මෙහෙම තීරණයක් ගත්ත හැටි, එහෙම දෙයක් කරන්න ඔහුට තිබුණ ධෛර්‍යවන්තකම, අසීරු අවධියකට මුහුණ පෑ නමුත් හිතේ හැටියට ජීවිතේ විඳපු හැටි, ඔහු සෙවූ නිදහස ඔහු ලද අපූරුව ආදී බොහෝමයක් දෑ ඔහු ගෙවූ කෙටි කාලීන දිවිය තුළ ඔහු ලබාගත්තා. ඔහු සම්බන්ධ පහත විස්තරය තුළ ස්පොයිලර්ස් අඩංගු විය හැක.

ඔහු Christopher McCandless හෙවත් ඔහු විසින්ම බෞතීස්ම කරන ලද “Alexander Supertramp” නම් අපූර්වතම තරුණයායි. ඔහු සහ “අංක 142 මැජික් බස් එක” කියන්නෙ ලෙජන්ඩරි වටිනාකමක් ලද වස්තූන් දෙකක්. ඇත්තටම මොකක්ද ඔහු මේ කළේ? මොකක්ද එහෙම කරන එකේ පලේ? ඒ ඔස්සේ මොනවද ඔහු ලැබුවේ? මේවා ඇත්තටම ප්‍රශ්න තමයි සිවිල් සමාජයක සාම්ප්‍රදායික සාමාන්‍ය ජීවිත ගෙවන අපට. ඔහුගේ අභිනිෂ්ක්‍රමණය තේරුමක් ඇති දෙයක් නොවන්නට දහසකුත් එකක් හේතු හොයන්නට හැකියි අපට. නමුත් ඔහු ලද, විඳි දේවල් සෑහෙන දුරයි අපට. ඔහු කියන ගොඩාක් කතා ප්‍රතික්ෂේප කරන්නට වෙනවා අපට. ඔහු හා එකඟ නොවන්නට සිදුවනවා අපට. ඔහු ජීවත් වුණේ ඔහු විසින්ම තෝරාගත් දිවියක. අපිත් එහෙමයි. නමුත් ඔහුත් අපත් අතර ආලෝක වර්ෂ ගණනක දුරක් තියෙනවා. හිතුවත් ඒ දුර තරණය කරන්නට බැරි ඒකයි අපට. එක්කෝ ඔහු ට පරිසරයට ළං වෙලා දිවි ගෙවන්න වෙනත් මඟක් තෝරාගන්න තිබුණා.
ඇලස්කාවේ පාක් රේන්ජර් කෙනෙක් ඔහු ගැන මෙහෙම කියල තියෙනවා: “When you consider McCandless from my perspective, you quickly see that what he did wasn’t even particularly daring, just stupid, tragic, and inconsiderate. First off, he spent very little time learning how to actually live in the wild. He arrived at the Stampede Trail without even a map of the area. If he had a good map he could have walked out of his predicament. Essentially, Chris McCandless committed suicide.” ඒ කතාව බොරුත් නෙමෙයි හැබැයි.

සමාජයෙන්, මිල මුදලින්, තාක්ෂණයෙන්, දෙමාපියන්ගෙන් ඉවත්වෙලා ස්වාධීන දිවියකට ඔහු යොමුවෙනවා. උසස් අධ්‍යාපනය සාර්ථකව හමාර කළ ඔහුට ජිවිතයේ ඉදිරිය බොහෝම සැපවත්ව ගෙවන්නට තිබුණා. විවාහයක්, දරු මල්ලෝ, සුවපහසු නිවසක්, වාහනයක් එක්ක සාර්ථක අනාගතයක් ඔහු අභිමුව තිබුණා. ඒත් ඔහු අභිනිෂ්ක්‍රමණය කරනවා. අසීරුවෙන් දිවි ගෙවනවා, ඉබාගාතේ යනවා, වනගත වෙනවා, අන්තිමේදී…. මේක නේද ඔහුගේ මහ ලොකු වීර චාරිකාවේ සාරාංශය? හැබැයි ආපහු සැරයක් ඔහු අපට කියන කතාව ඇතුළට එබිල බලන්න වෙනවා. අපි ජීවත් වෙනවා. හැබැයි සිද්ධ වෙන්නේ ජීවත් වෙනව කියල හිතන් ඉන්න මායවක අපි පැටලිලා ඉන්න එකයි. ජීවත් වෙනව කියල අපි ඇත්තටම කරන්නෙ කෙළවරක් නැති ප්‍රශ්න පත්තරේකට උත්තර ලියන එකයි. කවදාකවත්ම සම්පූර්ණ කරපු පිළිතුරු පත්‍රය භාර දීලා ඒ විභාග ශාලාවෙන් පිටවෙලා එන්නට අපිට ඉඩක් නෑ. ළමා වියේදී අනාගතයේ හොඳ රැකියාවක් වෙනුවෙන් දහදුක් විඳලා ඉගෙන ගන්න වෙලා. තරුණ වියේදී විශ්‍රාම දිවිය සැලසුම් කරන්න වෙලා. ජීවත් වෙනව වෙනුවට අපිට සිද්ධ වෙලා තියෙන්නෙ ජීවත් වෙන එක ප්ලෑන් කර කර ඉන්න. එතකොට ජීවිතේ විඳින්න තියෙන ඒ එක්සෑක්ට් මොහොත ගෙවිල ඉවරයි. ඔහුගේ ජීවන දර්ශනයේ එක පැතිකඩක් තමයි ඒක. ඒක එහෙමම වෙන්න ඕනද? සැබෑ ජීවිතේක තියෙන්නම ඕන අනිත් පැතිකඩ? ඒක වෙනම තේරුම් ගමු. ඔහුත් තේරුම් ගත්තා නොවේද? 


පස්සෙ කාලෙකදි ඔහුගේ මේ කෙටි නමුත් අද්විතීය ජීවන චාරිකාව ඇතුළත් කෘතිය නිකුත් වුණාට පස්සේ බොහෝ McCandless රසික ප්‍රජාවක් බිහිවෙලා තියෙනවා. මෙයාලා පූජනීය වස්තුවක් වන්දනාමාන කරන්න යන වන්දනා නඩයක් වගේ පෙළ ගැහිලා කාලාන්තරයක් තිස්සේම ක්‍රිස් දවස් 114 ක් ජීවත් වුණ මැජික් බස් එක හොයාගෙන ගිහින් තියෙනවා. ඒ අතරතුරදී අර ගංඟාව තරණය කරන්න ගිහින් කීප දෙනෙක්ම අවාසනාවන්ත විදිහට මිය ගිහින් තියෙනවා. මහජන ආරක්ෂාව පිණිස පහුගිය අවුරුද්දෙදි බස් රථය එතනින් අරන් ගිහින් ඇලස්කාවේම කෞතුකාගාරයක තැන්පත් කරල තියෙනවා. මේ විස්තරය පුරාවෘත්තයක් වෙන්නෙ ඒ නිසා. මේ විශිෂ්ට චිත්‍රපටය නිර්මාණය කරන්නේ විශිෂ්ට රංගධරයෙක් වන Sean Penn විසින්. ඒ වෙනුවෙන් McCandless පවුලේ පූර්ණ අවසරය ලබාගන්නට වසර 10 ක් ම බලන් ඉන්නට සිදුවූ බවත් වාර්තා වෙනවා. රංගන ශිල්පියා Emile Hirsch විසින් කිසිම බොඩි ඩබල් ශිල්පියෙක් නොමැතිව සියලුම දර්ශන වලට පෙනී සිටි බවත් වාර්තා වෙනවා. රංගනය, කැමරා කාචයෙහි රැඳුණ සොබා සෞන්දර්යයේ විචිත්‍රවත් පසුතලයන්, සංගීතය ආදී සියලුම දෙයින් පිරිපුන්, අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයක් විදිහට ඉහළින්ම නිර්දේශ කරනවා. 


‘සිනමාවේදීන්’ වෙනුවෙන් විචාරක
ලක්ෂ්මන් අරංවල

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles