Friday, April 26, 2024

මැති ඇමතිවරු ලහි ලහියේ දේපළ රක්ෂණය කරති..

ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මැති ඇමතිවරුන් තම නිවාස හා දේපළ රක්ෂණය කිරීම සඳහා මේ දිනවල වැඩි වශයෙන් රක්ෂණ සමාගම් වෙත යොමු වෙමින් සිටින බව වාර්තා වේ. ඉකුත් මැයි මස 9 වන දා රට පුරා ඇතිවූ කලහකාරී වාතාවරණයත් සමග පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ නිවාස, දේපළ හා වාහන කලහකාරී පිරිස් විසින් ගිනි තබා විනාශ කෙරිණි.

එම සිදුවීමෙන් පසු ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන පිරිස් තම නිවාස, දේපළ හා වෙළෙඳසල් හා වෙනත් දේපළ ආදිය රක්ෂණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව පැවසේ. මහජනතාව මේ දිනවල රටේ පවතින කැලඹිලි සහගත වාතාවරණයත් සමග කුපිත වී සිටින නිසා යළිත් මැයි 9 වන දා මෙන් මහජන කැලඹීමක් සිදුවී තම දේපළ හා නිවාස විනාශ වී යා හැකි යැයි සැකයක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු තුළ හටගෙන ඇති බව කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

ඒ හේතුවෙන් යම් හෙයකින් තම දේපළවලට හානි සිදුවෙතැයි බිය වී ආණ්ඩුව නියෝජනය කරන පිරිස් තමන්ට අයත් නිශ්චල හා චංචල දේපළ රක්ෂණය කිරීමට පියවර ගෙන ඇතැයි ඔහු කීය. නිවෙසේ වටිනාකම, එහි ඇති ගෘහ විදුලි උපකරණ, විද්‍යුත් උපකරණ, ස්වර්ණාභරණ හා ගෘහ භාණ්ඩ වටිනාකම ආදිය තක්සේරු කරමින් ආණ්ඩු පාර්ශවයේ කිහිප දෙනකු මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම්වලින් රක්ෂණ ආවරණ ලබාගෙන ඇතැයි රක්ෂණ සමාගම් නියෝජිතයෙක් පැවසීය.

ඇතැම් රක්ෂණ ඔප්පුවල වටිනාකම රුපියල් මිලියනය පවා ඉක්මවන බව ද එම නියෝජිතයා පැවසීය. මෑත කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම් කිහිපයක්ම වාර්තා වූ නිසා එම සිදුවීම්වලින් පසුව නිවාස, වෙනත් ව්‍යාපාර හා දේපළ ආදිය රක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යොමුව ඇතැයි ද හෙතෙම තවදුරට ත් කීය. – මව්බිම

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles